Friday, September 12, 2014

මල්ලියනේ...



මගේ ගම හොරණ,අම්මයි අක්කලා තුන්දෙනයි විතරයි මගේ පවුලේ.තාත්තා ජීවතුන් අතර නෑ.මට අවුරුදු දාසයේදී තමයි තාත්තා වකුගඩු ඔපරේෂන් එහෙකදී මැරුණේ.අපේ තාත්තා අපිට කිසිම අඩුපාඩුවක් කරපු කෙනෙක් නෙමෙයි.අම්මා මට ගොඩක් ආදරේ කරන කොට තාත්තා මට හොද යාලුවෙක් උනා.කරුමේ කියන්නේ ඒ ආදරෙත් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මට බැරි උනා.

රෑට රෑට සංගීත වලට ගිහින් බාල් නටන එක,කානිවල් වලට ගිහින් ෆන් ගන්න එක මම හිතුවේ ජීවිතේ කියලා.

ශෂිකා කියලා කියන්නේ මගේ ග්ර්ල්ෆ්රෙන්ඩ්,ශෂිකයි මමයි අතරේ තිබුන ආදර සම්බන්දෙ මුළු ඉස්කොලෙටම රහසක් උනේ නැහැ. ශෂිකා ඉස්කෝලේ ගියේ වෑන් එකේ.ඉස්කෝලේ යනවා කියලා ගෙදරට කියලා එන ශෂිකා ඉස්කෝලේ ලගදි වෑන් එකෙන් බැහැලා පයින් ඇවිදගන අපේ ගෙදර එනවා.අම්මත් උදේ ෂොප් එකට යන නිසා අක්කලත් ජොබ් වලට යන නිසා අපේ ගෙදර උදේ වරුවට ඉතුරු වෙන්නේ මම විතරයි.ඉස්කෝලේ කිට්ටුව තියෙන මගේ ගෙදරට ශෂිකා හැම උදේකම වගේ එනවා.ඒ ආවම මම විතරක් ඉන්න ගෙදර හැමදේම වුනේ මට ඕනේ විදිහට. ශෂිකා එක්ක විනෝද වෙන්න මම පටන් ගත්තේ පාසල් යන කාලේ ඉදලා.සමහර දාට ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකල්ම ශෂිකා හිටියේ මාත් එක්ක මගේ කාමරේ.ඒ වයසේ කෙල්ලෙක් කොල්ලෙක් නොගන්න විදියේ සැපක් අපි දෙන්නම ගත්තා.ඇත්තටම මම ශෂිකාට ආදරේ කළා.නමුත් ටික දවසක් යනකොට එයාලගේ ගෙදරින් අපිට විරුද්ධ වුනා.ඒත් එයාලට අපිව වෙන් කරන්න පුළුවන් වුනේ නැහැ.

කොහොම උනත් මම මගේ ඉස්කෝලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් උනා.ආදරේ,අධ්‍යාපනය,ක්‍රීඩාව මේ හැම දේම මැද්දෙන් ජීවිතේ ඉස්සරහට ගියා.පාසල් යන කාලේ ඕනෑම වසංගතයක් සැපක් වගේ දකින්න විතරක් නෙමේ ඒක බදාගන්නත් කොල්ලෙක් දෙපාරක් හිතන්නේ නෑ.ඒ කාලේ කොල්ලෝ අතරේ ජනප්‍රියම කෑමක් තමයි බාබුල්.මුල්ම දවසේ බාබුල් කාපු මට වමනේ ගියා.බාබුල් වලින් පස්සේ පම්පරා වලට ලං උනා.මුලදී පම්පරා පැකට් එකකින් පටන් ගත්ත එක අන්තිමේ පම්පරා පැකට් දහයක් විතර කන තැනට ආවා.කිසිම දෙයක සීමාවක් තිබුනේ නෑ මගේ ජීවිතේ සතුට විතරයි,දුකක් දැනුනේම නෑ.ඔය අතරේ මදන මෝදකත් දවසට හතරක් විතර ගත්තා.ඒ වගේ දේවල් මම හුගක් කෑවේ ශෂිකා එක්ක ඉන්න වෙලාවට.ඒවා කාලා ශෂිකා එක්ක ඒ ලයිෆ් එකේ ගන්න තියෙන උපරිම සැප ගත්තා.

O/L කරලා හොදට පාස් උනත්.උසස් පෙළ කරන්නේ නැතුව හොටේල් කෝස් එකක් කරන්න තීරණේ කළා.ඔය අතර ශෂිකා නිතරම කිව්වේ බදිමු කියලා.මොකද ඒ වෙනකොටත් එයා මගේ අතින් ගෑනියෙක් වෙලා හිටි නිසා මම එයාව අතෑරලා යයි කියලා එයා බය වුනා.දවසක් ස්කුල් යුනිෆෝර්ම් එකෙන් මගේ ගෙදරට ආව ශෂිකාව පාට ඇදුමකට චේන්ජ් කරගත්ත මම එයාව එක්ක ගිහින් කසාද බැන්දා.එහෙම බැදලා එයා එයාගේ ගෙදර ගියා,මම මගේ ගෙදර ගියා.කොහොම උනත් එදා ඒ තීරණේ ගත්තේ මම එයාට තිබුන ආදරේ නිසා.කාලයක් ගතවෙලා යද්දී ශෂිකට ඕනේ උනා ජොබ් එකක් කරන්න.මගේ අක්ක බොඩිලයින් ෆැක්ටරි එකේ සුපවයිසර් කෙනෙක් විදියට වැඩ කරන නිසා එයාගේ උදව්වෙන් මම ශෂිකා බොඩිලයින් එකට දැම්මා.

ජොබ් එකට ගිහින් මාස ගානක් යද්දී ශෂිකා ටික ටික වෙනස් උනා.අක්කා උනත් නිතරම කිව්වේ ශෂිකා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්න නිසා එයාව අමතක කරන්න කියලා කිව්වා.ඒ වෙලාවේ මට ඇතිවුන හැගීම කියන්න වචන නැහැ.ඒ මගේ වයිෆ් කියලා අක්කා දන්නේ නැහැ.මම හොයාගන ගිහින් ශෂිකා යාලු වෙලා ඉන්න කොල්ලගේ ගෙදර ගියා.ගිහිල්ලා ඒ ගෙදර මිනිස්සුන්ට කිව්වා ශෂිකා මගේ වයිෆ් කියලා.මම ඒ දේ කලේ මගේ කසාද ගෑනි වෙන එකෙකුට දෙන්න මට බැරි නිසා.එහෙම නැතුව තරහකට කරපු දෙයක් නෙමෙයි.

ඒ සිද්ධියෙන් පස්සේ ශෂිකා ආවා මාව හොයාගන.එයා මට කිව්වා තාත්තා කැමති දේ තමයි මට කරන්න වෙන්නේ.ඒ නිසා අපි දෙන්නා ආයෙත් හම්බුවෙන්නේ නැතුව ඉමු කියලා.එයා කසාද බදින්න ආයේ හිතන්නෙවත් නැහැ කිවවා.එදා ශෂිකාගේ හිතේ මම වෙනුවෙන් ආදරයක් තිබුනේ නෑ.නීතියෙන් නොවුනත් හිතෙන් එදා අපි වෙන්වුනා.මට පුළුවන් විදියට හිත හදාගන්න මම හැමදේම කළා.

කැම්පස් එකේ ඉගන ගන්න ගෑනු ළමයෙක අපේ ගෙදර නතර උනේ ඔය කාලේදී.එයා ගොඩක් ලස්සන කෙල්ලෙක්.ටික දවසක් යද්දී එයා අපේ ගේ එයාගේ කරගත්තා.එයා මාත් එක්කත් ටික ටික හිතවත් උනා.ඒ විදියට ආරම්භ උන හිතවත්කම ටික දවසකින් ආදරයක් බවට පත්වුනා.මමයි වත්සලයි අපේම ලයිෆ් එකක් පටන් ගත්තා..එයයි මමයි ගෙදර අම්මලා අක්කලා ඉන්න දවස් වලට අපේ ගෙවල් ගාව තිබුන ඉස්කෝලේ පංති කාමරේකට ගිහින් විනෝද උනා.ඉස්කෝලේ පිටිපස්සේ කැලෑව අපිට හොටේල් එකක් වගේ වුනා.ඒක හරිම ලස්සන කාලයක් මගේ ආශාව සිතුම් පැතුම් වැඩි වැඩියෙන් සපිරෙනකොට මට වැඩි වැඩියෙන් කෙල්ලෝ කියන සබ්ජෙක්ට් එක ඕනේ උනා.කොයි දේත් ටික දවසයි.

ඊළගට මම මාරු උනා රජිතා කියල කෙල්ලෙක්ට.එයා මාතර පැත්තේ කෙනෙක්.එයා ගැන ආදරයක් ඇති වුනාද මම දන්නේ නෑ.ඒත් අනිත් අය එක්කම වගේ සැප ලයිෆ් එකක්නම් තිබුනා.එයාට මම හොදට වියදම් කළා.හොටේල් කෝස් එක කරන ගමන්ම හොටේල් එකේ පොඩි ජොබ් එකකුත් කරන නිසා මගේ ලග සල්ලි තිබුනා.මම අදුරගන්නකොට අහිංසක කෙල්ලෙක් වුනු රජිතා දවසින් දවස පොෂ් වුනා.මගේ සල්ලි වලින් පොෂ් වුනු රාජිතට මාව ඇලජික් වුනා.මගේ අතේ ලොකු ටැටූ එකක් තිබුනා.එයා ඒ ටැටූ එක ප්‍රශ්නයක් කරගත්තා.එයාගේ ගෙදර අයට පෙන්න එන්න එපා කිව්වා.මගේ වැදගත් පෙනුමක් නෑ කිව්වා.මාව හෑල්ලු කළා.

ඔය අතරේ බාබුල්,ගංජා,අරක්කු,අබිං කකා රට වටේම ඉන්න කෙල්ලෝ එක්ක ආතල් ගත්ත මට හැම එකකින්ම ලැබෙන කික් එක මදිවුණා.මගේ යාලුවෙක් හිටියා කුඩු ගහන.මම ඌට කිව්වා මචං මට කුඩු ගහන්න ඕනේකියලා.

උගේ නම කාලිංග.මුලින්ම ඌ මට කිව්වා මචං මීට වඩා හොදයි එක සැරේ වහ බීපන් කියලා.ඌ කැමති උනේ නැහැ මට කුඩු දෙන්න.ඌට මම බලකරපු නිසාම ඌ මාව එක්කන් ගියා මොරටුවේ පොට් එකකට.මුල්ම දවසේ කුඩු ගහද්දි මගේ අතේ රුපියල් පහළොස්දාහක් තිබුනා.එදා රුපියල් පන්දාහක කුඩු ගැහුවා.එදා හොදට කුඩු ගහලා ගණිකාවෝ එක්ක ෆුල් නයිට් එකක් ගැහුවා.මට හිතුනේ මම ෆන් එකේ ඉන්නවා කියලා.ඔය අස්සේ එස්.ටී.එෆ් එකට බැදෙන්න මම දාපු ඉල්ලුම් පත්‍ර වලට කැදවීම් ලැබුනා.ඒ වෙලාවේ මගේ අතේ තිබුණ ටැටූ එක ලොකු ප්‍රශ්නයක් වුනා. ටැටූ ගහපු කොල්ලෝ එස්.ටී.එෆ් යනවනම් ටැටූ අයින් කරන්න ඕනා.මට යාලුවෙක් ටැටූ අයින් කරන්න අත්බෙහෙතක් කිව්වා.සන්ලයිට් එක්ක හුණු එකට අනලා ටැටූ එකට බදින්න කිව්වා.

ටික වෙලාවක් යනකොට අතේ ලොකු වේදනාවක් ආවා.අත බලාගන ඉන්දදී වණ වුනා.ඉවසන්න බැරි තරම් වේදනාවක්.මම පුළුවන් තරම් කුඩු ගැහුවා.අන්තිමේ අතට ප්‍රතිකාර නැති නිසා තුවාලේ එන්න එන්නම ලොකු වුනා.මගේ අම්මා මගේ තුවාලෙට බෙහෙත් ගන්න මාව එක්කගන් ගියා.අන්තිමේ තුවාලේ දරුණු අතට හැරිලා නිසා කකුලෙන් මස්පිඩු අරන් අතට බද්ද කරන්න වෙන බව ඩොක්ටර්ස්ලා කිව්වා.පස්සේ ඒ ඔපරේෂන් එක කළා.දවස් ගානක් හොස්පිටල් ඉන්න සිද්ධ වුනා.මම දවස ගෙවා ගත්තේ හරිම අමාරුවෙන් කුඩු සික් එක හැදිලා.

අන්තිමේ මම ටිකට් කපාගන ගෙදර ආවා.ඒ ආවට පස්සේ සතියෙන් සතිය ක්ලිනික් එකට යන්න තිබුනා බෙහෙත් ගන්න.කරුමේ කියන්නේ මම හොස්පිටල් එකට යනකොට ටිපර් එකකට හැපිලා කොන්ද කැඩුනා.සුසුම්නාවේ ඇතිවූ තුවාල නිසා මගේ ජීවිතේ ඇදට සිමා වුනා.රෝහලට වත් යාගන්න බැරි වුනා.බෙහෙත් දාන්න බැරි වුන නිසා අත කුණුවෙන්න පටන් ගත්තා.ජීවත් වෙලා ඉන්දදීම බද්ධ කල මස්පිඩු කුණු වුනා.ඉල ඇට කැඩුණු,අත කුනුවුන තත්වෙට මාව පත් කරලා සොභාධර්මය මට දඩුවම් කළා.ජීවිතේ දුෂ්කර නෙමෙයි අති දුෂ්කර වුනා.කැඩුන කොන්දට නොයෙකුත් ඩොක්ටර්ස් ලා බෙහෙත් කලත් වැඩක් වුනේ නෑ.අන්තිමට මම අනුරාධපුර මරදන්කඩවල කැඩුම් බිදුම් වෙදමහත්තයා ලගට ගිහින් මගේ කොන්ද සනීප වුනා.

මේ මොන දේ වුනත් මම කුඩු ගැහිල්ල නතර කලේ නෑ.වෙනසක් නොවී හැමදෙයක්ම වුනා.මම දැන් විවාහකයි,පුතාලම තුන්දෙනෙක් ඉන්නවා,මගේ වයිෆ් ඉමල්කා.එයා මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල් නිසා අපේ ගෙදරින් එයාට අකමැති වුනා.එයා අනුරාධපුර පැත්තේ ගෑනු ළමයෙක.මම හිතුවක්කාරෙට විවාහ වුනා.මගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න පොඩි අක්කා මට ගොඩක් උදව් කළා.තබුත්තේගම මගේ වයිෆ් ගේ නමට තියෙන ඉඩමේ ගෙයක් හදන්න කියලා එයා මට සල්ලි එවුවා.නමුත් මුළු ජීවිතේම කුඩු කියන තැනට පත්වෙලා ඉදපු මට ගෙවල් දොරවල් ඕනේ උනේ නෑ.

තබුත්තේගම ගියාට පස්සේ මට කුඩු ගන්න තැනක් තිබුනේ නෑ.හැමදාම කොලබ එන්නත්බෑ.කොලබ කුඩු විකුණන ඩයල් එකකට මම කෝල් කළා.එයා කිව්වා එයාගේ එකවුන්ට් එකට සල්ලි දාන්න එයා කුඩු එවන්නම් කිව්වා.එයා මගේ ඇඩ්රස් එක ඉල්ලගත්තා.මුලදී මට කුඩු ලැබෙන විදිය ගැන මම කල්පනා කලත් පස්සේ ක්‍රමේ මට තේරුනා.තබුත්තේගම ඉදපු මට කුඩු ගෙනාවේ පියුම් මාමා.බර්ත්ඩේ කාඩ් ඇතුලේ තියෙන (මියුසික් බර්ත්ඩේ කාඩ්)ගැජමැටික් එක ඇතුලේ හංගලා ඒ කාඩ් මගේ යාළුවා මට තැපෑලෙන් එවුවා.රුපියල් පන්දාහක් බැංකු ගිණුමට දැම්මහම කාඩ් එක අස්සේ හංගපු රුපියල් පන්දාහක කුඩු මට ලැබුනා.රුපියල් පන්දාහක කුඩු කියන්නේ මග ගොඩක් නෙමෙයි නේ.දන්නා උන් දන්නවා සීන් එක.

පස්සේ මම තබුත්තේගම කුඩු විකිණුවා.දවසක් මාව පොලිසියට කොටු වුනා.ඒ පාර ඇතුලට ගිහින් එලියට ආවට පස්සෙත් කුඩු බිස්නස් එක නතර කලේ නෑ.කොලබ කුඩු විකුණනවට වඩා හොද ගණක අනුරාධපුරේ කුඩු විකුණලා හොයන්න පුළුවන්.කොලබදී රුපියල් පන්සියේ කුඩු කෑල්ල අනුරාධපුරේදී දෙදහට විකුනන්න පුළුවන්.මගේ ඒ ජරා ජීවිතේ නිසා මගේ අම්මා,මගේ සහෝදරියෝ,මගේ වයිෆ් හැමෝම අපහසුතාවයට පත්වුනා.එක සැරයක් නෙමේ කීප සැරයක්ම මාව පොලිසියට කොටු වුනා.ජීවිතේ මට වදයක් කරුමයක් නිසා.සතුටු වෙන්න පුළුවන් දේ තියෙද්දිත් දුක බදාගත්තා කරුමෙට රෑ දවල් නැතුව මගේ මුළු පවුලම විදෙව්වා.

මගේ අම්මා,මගේ අක්කා,මගේ බිරිද මාව මිතුරු මිතුරෝ පුනරුත්ථාපන ආයතනයට මාව එක්ක ආවේ ඔය ජීවිතේ එපා වෙලා ඉන්න කාලේ.මුලින්ම මාව යොමුකෙරුනේ වටරැක නිවහනට.එහෙදි කුඩු සික් එක නැති වෙනකල් තියාගන ඉදලා දැන් මාව පැල්මඩුල්ලේ  නිවහනට යොමු කරලා තියෙනවා.අපේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙන්න දැන් දවසින් දවස මගේ ජීවිතේ පිළිවෙලක් වෙන්න පටන් අරගන.කරපු පව් ගෙවිලා යන්න මම දැන් පිං දහම් කරනවා.භාවනා කරනවා.මම කල පව් මෙනෙහි කරනවා.



No comments:

Post a Comment