Friday, September 19, 2014

කලාපේ ප්‍රේමය

රස්තියාදුකාරයා කටුනායක වෙළද කලාපේ පැත්තේ නිතර යන එන අතරතුර කතා බහ කරපු හිතවතෙක් එක්ක දාපු පුංචි චැට් එකක්.


v කීයක් විතර වෙයිද රූම් එකක්..?
රුපියල් දෙදහකට ගත්තෑකි ටිකක් හෙව්වොත්.

v දෙදහකට..මාසෙකට..?
ඔව්..මොනවද ඉතින් මෙහෙ එහෙම තමයි,ඊට අඩුවට වුනත් පුළුවන්..හැබැයි ෂෙයාර් කරගන්න ඕනේ.

v ඒ කියන්නේ දෙන්නෙක් එක්ක ..?
සමහර විට දෙන්නෙක්..නැත්නම් ඊට වැඩි වෙන්නත් පුළුවන්..එතකොට ගානත් අඩු වෙනවනේ.

v මොනවද මේ කාමරේට අයිති දේවල්..?
බිත්ති හතර විතරයි.බිත්ති හතරේ එක බිත්තියක දොරක් තියෙනවා,තව බිත්තියක ඇරෙන්නේ නැති ජනේලයක් තියෙනවා..ඒ ඇරෙන්න ළිද තියෙනවා..ටොයිලට් පේලි දෙකක් තියෙනවා..තමන්ගේ වැඩක් බලාගන පාඩුවේ ඉන්න පුළුවන්.


v මොකක්ද ඒ තමන්ගේ වැඩේ..?
මෙහෙමයි මල්ලි...දැන් අර පේන පලවෙනි කාමරේ තියෙනවා නේද..ඒකෙ ඉන්නේ තනි කෙල්ලෙක් එයා වැඩ කරන්නේ අර ගාමන්ට් ඒකෙ.එතකොට ඊට මෙහා තියෙන කාමරේ ඉන්නේ කපල් එකක් හැබැයි කොල්ලා එන්නේ සති තුනකට සැරයක්..ආමි කියලයි කියන්නේ..ඊළගට තියෙන ඒකෙ ඉන්නේ කොල්ලෙක්..එයා ඩ්‍රයිවර් කෙනෙක්.ඊට මෙහා පැත්තේ ඒකෙ ඉන්නේ මං.මගේ රූම් එකට අල්ලපු රූම් ඒකෙ ඉන්නේ අක්ක කෙනෙක්...එයා වැඩ කරන්නේ හොටෙල් එකක.ඊළගට අර අන්තිම කාමරේ ඉන්නේ අන්කල් කෙනෙක්.මේ ලග ගැරේජ් එකක වැඩ කරන්නේ..එතකොට එහා පැත්තේ පළවැනි කාමරේ ඉන්නේ කෙල්ලෙක් තනියම එයාගේ මල්ලි කියල කෙනෙක් එනවා සතියකට දෙකකට සැරයක්....

v ඒ මල්ලි එහෙ නවතිනවද..?
නැතුව..මේ ඉන්න අය කතා කරන්නේ නෑ..හැමෝටම  තමතමන්ගේ වැඩ තියෙනවනේ..හිතවත් වෙනවා කියන්නේ ප්‍රශ්න හදාගන්නවා කියන එක තමයි ඒ නිසා වැඩ ටික කරගන තනියම ඉන්නවා.

v මොනවද මේ ගොල්ලන්ට තියෙන වැඩ..?
එහෙම නෙමෙයි..මෙහෙම කියමු.කප්පරක් දුක අනුභව කරලා එක තත්පරයක් සතුටු වෙන,අයෙත් කප්පරක් දුක කන්දක ලග සතුට තත්පරයක් එනකම් බලා සිටින මේ අයට මොන වැඩද නැත්තේ.වෙළද කලාපේ කියන්නේ මොනවගේ තැනක්ද..එතන අපේ රටට අදායම ගේන ලක්ෂ ගානක් සන්නාලියන් ඉන්නේ මොන මොනවගේ මානසික තත්ත්වයකද..ඒ අයගේ ජීවිතේ රෝදේ දැති කරකැවෙන හඩ එළියටත් ඇහෙනවා..කිසිම හව්හරණක් නැතුව ණයට ගෙනාව ජීවිතේට කොහොමහරි කරලා වටිනාකමක් හදාගන්න මේ අය කැප නොකරන්නේ මං දන්නා තරමින් ජීවිතය විතරයි.ඒත් එක පාර මැරෙන එකට වැඩිය මැරී මැරී ජීවත් වෙන එක කොච්චර අමාරුද.

v එතකොට බාත් රූම් එහෙම තියෙනවද..?
නෑ...අර තියෙන්නේ ළිද එතන ෂවර් හයක් තියෙනවා..එක පැත්තකට තුන ගානේ කාමර පේළි දෙකට වෙන වෙනම තියෙන්නේ.

v ඉතින් ගෑණු-පිරිමි දෙගොල්ලොම එකට නානවද..?
නැතුව එක පාරක් මරු වැඩක් වුනා.ගෑණු ටොයිලට් එක වෙනමයි පිරිමි වෙනමයි ටොයිලට් පේළි දෙකක් වෙන්කරලා දුන්නා.පිලිගන්නවා නම් පිළිගන්න ගෑණු ටොයිලට් තුන හෝදන්නේ නැතුව ජරා වෙලා ගියා.පස්සේ කාමර අයිති කාරයා පේළි දෙකට අයෙත් වෙන්කළා.මේවයේ ඉන්න කෙල්ලෝ එකාට එකා නෑ..දැන් හොදට පිරිසිදුවට තියෙනව ටොයිලට් පේළි දෙකම.

v කොහොමද මේ අයගේ ජීවිත ගෙවෙන්නේ..?
ෂිෆ්ට් එකටනේ වැඩ..හතයි,හතරයි තිහයි...හතරයි,දොළහයි තිහයි.ඔය වගේ තියෙනවා..ඉතින් උදේ නැගිටිනවා දඩ බඩ ගාලා මොනවා හරි දෙකක් තම්බ ගන්නවා.මුණ හෝදගන්නවා,බත් එක බැදගන්නවා.ඒත් හුගක් ෆැක්ටරි වල දවල්ට රෑට කෑම දෙනවා..ඊට පස්සේ ඉතින් මැෂිමේ..හවස එනවා රෙදි හෝදනවා..මොනවා හරි උයාගන්නවා එහෙම නැත්නම් කඩේකින් මොනවා හරි කනවා.කාමරේ වහගන්නවා ඊට පස්සේ කළුවරේ දත් මදිනවා ඇහෙනවා.ආයෙත් දොර වැහෙනවා.දවල් දවසේ වැඩ නැත්නම් හුගක් අය කරන්නේ නිදියන එක.මේකේ ඉන්න ඔක්කොම එහෙමයි..හැබැයි ඒ මේකේ..තව අය තව ගොඩක් දේවල් වලට යනවා.

v මොනවද ඒ දේවල්..?
ඇයි කොල්ලෝ හම්බුවෙන්න.බඩු ගන්න..තව තව ඒවා තියෙනවා දන්නවනේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..ඔයාල මාසෙට සැරයක් එන නිසා දන්නවනේ මෙහෙ වෙන දේවල්.මේක එක්තරා ලෝකයක් තමයි මල්ලි ඒ වුනාට මේ ලෝකේ මේ වගේ වෙන්න ඕනේ නෑ.මොකද එයාලට ඇගේ හයිය වගේම හිතේ හයියත් තියෙන හින්දා..ඒ වගේම ඒ දෙකම එකතු වෙලා සල්ලියකුත් හොයන හින්දා..ඒ හොයන සල්ලියේ බර අස්සේ කොච්චර කතාවක් වැහිලා තියෙනවද..එහෙම කියලා අපේ කතා නායකයා සිගරට් එකක් පත්තු කරගන මටත් එකක් දුන්නා.අපිට ටිකක් එහායින් කාමරයක් ලග කොල්ලෙක් මලානික වෙලා ඉන්නවා දකුපු මම ඒ ගැනත් අහන්න අමතක කලේ නෑ.

v අර පොර ඇයි අප්සට් එකේ ඉන්නේ..?
ඒවත් මෙහෙට ආවේණික දේවල්.එයා ඉන්නේ එහා පේලියේ කාමරේක.එයාගේ කෙල්ල දැන් සති දෙකකට කලින් කොල්ලෙක් එක්ක ගිහින්.

v යන්නම..?
ඔව්..නැතුව.මූ ඒ කෙල්ලව බැදලා හිටියේ ඔය දුර ගමක.අවුරුදු දොළහක් එකට ඉදලා.දරුවෙකුත් ඉන්නවා අවුරුදු දහයක විතර.ඒත් මෙහෙ එහෙම තමයි හුගක් අය හොරාකනවා අහුවුන ගමන් පැනලා යනවා.ආයේ හොයන්න බැරි වෙන්නම.ඊට පස්සේ ඉතින් ජීවිතේ වලේ තමයි ගොඩක් කෙල්ලන්ගේ...පැනලා ගිය එකාගෙන් වෙන එකක් ගාවට යනවා..ඊට පස්සේ තව එකක්...

v ඒක මාර කතාවක්නේ..?
ඔව්...මාර කතා තමයි..මමත් ආවේ ගමෙන් නේ..මටත් ඇත්තට ඔය ප්‍රශ්නේ වුනා දැන් ටික කාලෙකට ඉස්සර.

v කැමතිද කියන්න..?
මගේ දිහා බලපු අපේ කතා නායකයා ගැබුරු බැල්මක් හෙලුවා.ඒ බැල්මේ කෙලවරේ තිබුනේ දිලිසෙන කදුළු බෝල දෙකක්.ජීවිත කාලේදී ආදරේ තරම් අත්දැකීම් දෙන වෙන කිසිම හැගීමක් නැතුව ඇති.ඒකයි මේ හැමෝම හැමවෙලේම මොනවා හරි හොයන්නේ.ලොකු කතාවක් කොහොමද කෙටි කාලයක් තුල ඉවර කරන්නේ,පුළුවන් තරම් කෙටියෙන් ඒ කතාව මෙහෙමයි....
එයාගේ නම සුදු නෝනා.ගම දබුල්ලේ.මුලින්ම අවේ අපේ ෆැක්ටරි එකට.මාත් එක්ක වැඩට වැටුනේ.හෙල්පර් හිටියේ.කොන්ඩේ දිගයි දණහිස ගාවට.හරිම හොදට හිටියා.මං එයාලගේ වැඩ බැලුවේ.පස්සේ ටික ටික හිතවත් වුනා.එයා හරිම දුප්පත් ඇත්තම කිව්වා..තාත්තා නෑ..අයියා ඉන්නවා.ගෙදර ප්‍රශ්න.ඒ නිසා ආවා.ගොඩක් හිතවත් වුනා එයා මට වැඩිය අවුරුදු දොළහක් බාලයි..
(අපි දෙන්නා කතාව පටන් ගත්තා.මේ කතා ඇතුලේ කොච්චර දේවල් තියෙනවාද ඔබ හිතන්න.ඒවා තමයි මේ වෙළද කලාපේ පැතිකඩ කියාපාන්නේ..උප සංස්කෘතිය කියාපාන්නේ)

v ඉතින්..?
පස්සේ අපි අතර ප්‍රේමයක් හටගත්තා.(ලවක් පටන් ගත්තා කිව්වනම් නේද හොද..ඒත් මේ කතාකරුවා ඒක දැක්කේ ප්‍රේමයක් විදියට...මම හිතන්නේ ප්‍රේමය කියන්නේ ලවකට වඩා ප්‍රබල දෙයක්.) එයා පුදුම විදියට මගේ හිත ගත්තා.පස්සේ එයාගේ වැඩ ස්ලෝ වෙනකොට මට බනින්න බැරුව ගියා..මට ඉහළින් බැනුම් අහන්න වුනා.පස්සේ මං සුදු නෝනට කිව්වා..ඔයා අස්වෙලා වෙන ෆැක්ටරි එකකට යන්න කියලා.මං උදව් කළා කිව්වා වගේම එයා අස් වුනා.

v රස්සාවෙන්..?
ඔව්..මෙහෙ ෆැක්ටරි එකක රස්සාවක් හොයාගන්න එක සිම්පල්..කාමර හොයනවා වගේම තමයි.එයා ගියා වෙන ෆැක්ටරි එකකට.එතන ප්‍රශ්නයක් නැතුව කාලේ ගෙවිලා ගියා.

v ඔයාලා කොහෙද හිටියේ..?
අපි දෙන්න වෙන වෙනම හිටියේ.එයා හිටියේ ශෙයා වෙච්ච කාමරේක.පස්සේ අපි දෙන්නම එයාලගේ ගෙදර ගියා.කිව්වා වගේම අන්ත දුප්පත්.මං උදව් කළා එයාලගේ හැමදේටම.මං අපේ ගෙවල් වලටත් කිව්වා.මගුලට හැමදේම ලෑස්ති කළා.

v ඉතිං බැන්දද..?
නෑ..ඉන්නකෝ කියනකල්.මොහෙම හැමදේම ලෑස්ති කරගන ඉන්දදී රෙජිස්ටර් කරන්න මාසෙකට විතර ඉස්සර සුදු නෝනා ඉන්න කාමරේ කෙල්ලෙක් මට මගදී හම්බුවෙලා කිව්වා සුදු නෝනා රෑට කාට හරි කතා කරනවා..අයියා එක්ක කතා කරලා බුදු සරණයි කියලා තිබ්බට පස්සේ එයා වෙන සිම් එකක් දාලා කාට හරි කතා කරනවා කිව්වා.

v මාරයිනේ..?
ඔව්..මෙහෙ එහෙම තමයි..සමහර වෙලාවට බයිට් එකට කොල්ලෙක් හොයාගන මඩවන්න හිතෙනවා..ඒත් අන්තිමට දන්නෙම නෑ කෙල්ලයි ගොනා වෙලා තියෙන්නේ.කොහොම හරි මං කතාව ඇත්තද දැනගන්න දවසක් සුදු නෝනගේ යාළුවගේ උදව්වෙන් ඒ බෝඩිමට ගියා.මං හිටියේ බෝඩිමේ කොනේ කාමරේ.වෙනද වගේ සුදු නෝනා මට රෑ කතා කළා.නිදිමතයි කිව්වා,ගුඩ් නයිට්,බුදුසරණයි කිව්වා.ඊට පස්සේ එයා ටික කාලෙක ඉදල රෑ මට කතා කරලා ෆෝන් එක ඕෆ් කරනවා.

v ඒ කියන්නේ..?
එයා රෑට මට කතා කරලා කියනවා.දැන් මං ෆෝන් එක ඕෆ් කරනවා..රෑට එක එක අය කෝල් කරනවා නොදන්නා නම්බර් වලින්....ඒ නිසා මං ෆෝන් එක ඕෆ් කරලා නිදියන්නේ...උදේ පහට තමයි ආයේ ෆෝන් එක ඔන් කරන්නේ කියලා.

v ඒකත් ඇත්තද..?
ඔව්..මෙහෙ කෙල්ලෝ ගාව තියෙන නම්බර් ගොඩක් අය දන්නවනේ..රිලෝඩ් දානවනේ..එතකොට පොතක හරි ලිව්වොත් ඒ නම්බර් එක ඒ අය බලලා නෝට් කරලා කෝල්ස් ගන්නවා.මෙහෙ ඉතින් කෙල්ලෝ වැහි වැහැලනේ..මාත් ඒක විශ්වාස කළා..කොහොම හරි මං බුදුසරණයි කියලා ෆෝන් එක ඕෆ් කරපු සුදු නෝනා දැන් නිදි ඇති කියලා මට හිතුනේ.අර අනිත් කෙල්ල ගැන මට තරහා ආවා..ඒත් මං ගල්පිලිමයක් වගේ සුදුනෝනා හිටිය කාමරේ දිහා බලාගන හිටියා.ටික වෙලාවකින් ඒ කාමරේ දොර අරුනා.කව්රු හරි ෆෝන් එකක් කනේ තියාගන ඉස්සරහ කොරිඩෝවට ආවා.එතන පුටුවක හොදට හරි බරි ගැහිලා ඉදගත්තා.

v ඊට පස්සේ..?
මට හරියට එයාව අදුරගන්න බෑ..මං හොරෙන් හොරෙන් ලගට කිට්ටු වුනා.සුදු නෝනා තමයි..කොන්ඩේ ගොතලා තිබුනේ..පොලවේ ගෑවෙනවා.ඊට වැඩිය දෙයක් නෑනේ..මං ඕනේ එකක් වෙන්න කියලා සුදු නෝනා කියලා කතා කළා.එයා බය වෙලා මං දිහා බැලුවා.පුටුවෙන් නැගිට්ටා..ෆෝන් එක පිටිපස්සට ගත්තා..ඒත් රෑ කිසි සද්දයක් නැති අස්සේ ෆෝන් එකෙන් කව්රු හරි “ඔයා විහිළුවක් කරනවා නේද” කියල කියනවා හිමිහිට ඇහුනා..මං එහෙමම ඉදගන අපේ අතීතේ හැමදේම කිව්වා..එයා ඒ ඔක්කොම අහගන හිටියා..එළිවෙනකං එයා එහෙමම හිටියා..තව අය ඇවිත් බලලා ගියා.මං කරුණු කියලා දුන්නා..උදේ එයා කාමරේට ගියා.මං මගේ බෝඩිමට ආවා.

v ඊට පස්සේ..?
එදායින් පස්සේ අද වෙනකම් මං එයාව දැක්කේ නෑ..එයා හොද කෙනෙක් වෙන්න ඇති..සමහර විට තවම එහෙම වෙන්න හදනවා ඇති..

v ගෙවල් වලින් ප්‍රශ්න ආවේ නැද්ද..?
එයා ගෙදරට කතා කරලා තිබුනා.රට යන්න අයියා කෙනෙක් ගාව නැවතිලා ඉන්නවා කියලා තිබුනා..එච්චරයි..

(එච්චරයි...කොච්චර සිල්ලරද ආදරේ..ඒ වගේම ගැබුරුද ආදරේ..මේ දෙක අතරේ වෙළද කලාපේ අතුරුදන් වෙන පෙම්වතියන්ගේ හිත් කොහොම වැඩ කරනවා ඇත්ද...මොනවා ඒ හිත් වල ඇතිද)




No comments:

Post a Comment