Tuesday, September 16, 2014

මල්ලියනේ... 2


මගේ ගම රත්මලාන,බෙලෙක්කඩේ.අයියයි මායි විතරයි පවුලේ.තාත්තා වරායේ රස්සාව කළා.අම්ම අපිව බලාගන ගෙදර හිටියා.පුංචි කාලේ ඉදල මම යාලුවොත් එක්ක කාලේ ගෙවන්න ආස කළා.අයියා ආස කලේ ඉගන ගන්න.,ඒ නිසාම අයියා හොද අධ්‍යාපනයක් ලබලා විදේශ ගත වුනා.මට ඉස්කෝලෙන් කට්ටි පැනලා ඉගන ගන්න බැරි උනා.මං ඉගනගත්තේ හය වසරට විතරයි.කොහොම වුනත් මට රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න උනන්දුවක් තිබුනා.මම පොලේ එළවලු බිස්නස් කළා.හොද ආදායමක් මට තිබුනා.දවසකට රුපියල් පන්දාහක විතර ආදායමක් මට තිබුනා.ඔය අතරේ රත්මලානේ ආර්ථික මධ්‍යස්තානේ කඩයකුත් පටන් ගන්න මට පුළුවන් වුනා.

හැම පැත්තෙන්ම කිරි ඉතිරෙන්න පටන් ගත්ත මට සන්ධ්‍යා ගැන හැගීමක් ඇතිවුනේ ඔය කාලේදී.පුංචි කාලේ ඉදන් දන්නා එයා ගැන අදහසක් තිබුනත් මම ඒ ගැන එයාට කියලා තිබුනේ නෑ.හැම දේම හොද විදියට වෙද්දී අපේ අම්ම මට කසාද බදින්න කියලා බල කරද්දී මං සන්ධ්‍යාගෙන් මාව කසාද බදින්න කැමතිද කියලා ඇහුවා.එයා අකමැති වුනේ නෑ..නමුත් මගේ අම්මා අකමැති වුනා.එහෙම කියලා සන්ධ්‍යාව අතාරින්න හිත හදාගන්න මට පුළුවන් කමක් තිබුනෙත් නෑ.ඒ නිසාම අම්මා තාත්තා අකමැති වුනත් මම එයාව කසාද බන්දා.

සතුටින් කාලය ගෙවිලා ගියා.අපි දෙන්නා රට වටේම ඇවිද්දා.ඔහොම ඉන්න අතරේ සන්ධ්‍යා අම්මා කෙනෙක් වෙන ලකුණු පහල වුනා.අපි දෙන්න ගොඩක් සතුටින් හිටියේ.උපදින්න ඉන්න අපේ දරුවා වෙනුවෙන් බලාපොරොත්තු පොඩි බැන්දා.අපිට ලැබුන පලවෙනි දරුවා පුතෙක්.මම මගේ බිස්නස් තවත් වැඩි කළා එළවලු වර්ග තිහක් හතළිහක් විතර දාලා බිස්නස් එක ලොකුවටම කළා.

ඔය කාලේදී වරායේ සේවකයෝ අයින් කරන්න රජයෙන් පියවර ගත්තා.අයින් කල සේවකයෝ අතරේ මගේ තාත්තත් හිටියා.මගේ තාත්තට ලැබුන වන්දි මුදල ලක්ෂ පනහක්.ඒ මුදලින් තාත්තා මටත් ගානක් දුන්නා.මම ඒ සල්ලි වලින් ත්‍රිවිල් එකක් ගත්තා..ටික කාලෙකින් ත්‍රීවිල් තුනක හිමිකාරයෙක් වෙන්න මට පුළුවන් වුනා.දවසින් දවස සල්ලි අතට එද්දී යාලුවොත් වැඩි වුනා.ගමේ මොන වැඩක් තිබුනත් මාව නැතුව බැරි තත්වෙට ආවා.යාළුවො පිරිවරාගන මම ජීවත් වුනා.

මුලින්ම මම සිගරට් බොන්න පුරුදු වුනේ රත්මලානේ මළගෙදරක ගිහිල්ලා.මළගෙවල් වලදී මම කාඩ් කුට්ටමේ කොළ පනස් දෙක අදුරගත්තා.කොහේ මළගෙයක් තිබුනත් මං ඒ මළගෙදර තනිරැක්කා,මළගෙදර සූදු පොළ මට තවත් සල්ලි හොයන ව්‍යාපාරයක් වුනා.රා එළිවෙනකල් සිගරට්,අරක්කු බිබී ගෙවිලා ගිය ජීවිතේ ගංජා වලටත් පුරුදු වුනා.සිගරට් අරක්කු ගංජා වලින් මගේ ජීවිතේ අමුතුවුනා කියලා මට දැනුනා.මට තිබුනේ අමුතුම මොරාල් එකක්,මං මළගෙවල්වල නිත්‍යානුකුලව තනිරකින කොල්ලන් අතරේ පොරක් වුනා.ඔය කාලේදී සන්ධ්‍යා මාත් එක්ක රණ්ඩු කළා මළගෙවල් වල යන්න එපා කියලා.ඒත් කිසි දෙයක් මට වැඩක් වුනේ නෑ.සන්ධ්‍යා දෙවැනි වතාවටත් අම්ම කෙනෙක් වෙන්න ආවේ ඔය කාලේදී.මමත් රෑ ගමන් නිසා සන්ධ්‍යා හුගක් වෙලාවට ගෙදර හිටියේ තනියම.

සුරාවට සුදුවට පුරුදු වුන මිනිහෙක්ගේ ජීවිතේ පිළිවෙලකට ගෙනියන්න අමාරුයි.කොයි තරම් වැඩකාරයෝ වුනත් විනාස වෙන්න යන්නේ ටික කාලයයි.බිස්නස් එකයි බූරු ගැහිල්ලයි එකට කරගන යන්න බැරි නිසා මං කඩේ වැඩට කොල්ලෙක් ගත්තා.එයා තමයි සුමිත්.එයා කුරුණෑගල වයස අව්රුදු විසි හතරක විතර කොල්ලෙක්.කඩේ වැඩට ගත්ත සුමිත්ව මම නතර කර ගත්තේ මගේ ගෙදර.දවසින් දවස මම නිශාචරයෙක් වෙද්දී සුමිත් මගේ ගෙදරට ආරක්ෂාවක් වෙන නිසා මගේ හිතේ කිසිම බරක් නැතුව ජීවත් වුනා.

දවසක් රත්මලානේ මං අදුරන හිතවතෙක් මියගියා.මමයි යාළුවොයි ඒ මළගෙදර බැහැලා වැඩ කළා.සිගරට් අරක්කු ගංජා කසිප්පු මළගෙවල් වලදී අනන්තවත් බීලා තිබුනට කුඩු බීලා තිබුනේ නෑ.කුඩු කියන්නේ මොනවගේ දෙයක්ද?ඇත්තටම කුඩු අතාරින්න බැරි මත්ද්‍රව්‍යක් ද කියලා දැනගන්න මට වුවමනාවක් තිබුනා.ඒ වගේම ගංජා වලට වඩා කුඩු හොදයි කියලත් අහලා තිබුනා.ඒ නිසා මටත් හිතුනා කුඩු ගහලා බලන්න.මගේ යාලුවන්ගෙන් මම කුඩු ඉල්ලනකොට උන් මට බැන්නා.කුඩු ගහනවට වඩා එක සැරේ වහ ගහපන් කිව්වා.ඒ කිසි දෙකට මාව නවත්වන්න බැරි වුනා.මං උන්ගෙන් බලෙන් වගේ අරගන කුඩු ගැහුවා.මුලින්ම මට වමනේ ගියා,ඇග කසන්න ගත්තා ඒත් පස්සේ පුදුම සැපක් දැනෙන්න ගත්තා.



එදා ඒ දැනුන සනීපෙ පණපිටින් අපාගත වීමක් කියලා මට දැනෙන කොට පරක්කු වෙලා වැඩි.ඇත්තටම කුඩු කියන්නේ ආසාවට නෙමේ නිකමටවත් දකින්නවත් හොද නැති දෙයක්.දවසින් දවස මං බොන කුඩු ප්‍රමාණය වැඩි කළා.මුලදී යාලුවන්ටත් අරන් දීලා කුඩු ගහපු මාව කුඩු ගහන මල්ලිලා අතරේ මං අයියා වුනා.කඩේ බිස්නස් සල්ලි,ත්‍රීවිල් තුනේම ආදායම ඔක්කොම මම කුඩු වලට කුඩු කළා,දවසින් දවස විනාශ වෙන මගේ ජීවිතේ කුඩු වලට යටවෙලා කියලා සන්ධ්‍යටත් දැනගන්න ලැබුනා.එයා මුලින්ම හොදටම ඇඩුවා.මගේ අම්මා තාත්තා දෙන්නමත් මම නිසා වද වින්දා.කුඩු නතර කරන්න ඕනේ කියලා හිතුනට ඒක කරන්න පුළුවන් කමක් ලැබුනේ නෑ.මං ත්‍රීවිල් එකේ පොත උගස්‌ තියලා කුඩු ගැහුවා.උගස්‌ කරපු ත්‍රීවිල් එක සින්න වුනා.දවසින් දවස සුනාමියකට අහුවුනා වගේ ජීවිතේ විනාශ වෙනකොට මට බය හිතුනා රත්මලානේ ආර්ථික මධ්‍යස්තානේ මගේ නමට තිබුන කඩේ මම සන්ධ්යට ලිව්වා.එහෙම කලේ මගේ දරුවන්ටයි සන්ධ්යටයි තිබුන ආදරේ නිසා.

ඒක මහා කරුමක්කාර ජීවිතයක් මාව දවසින් දවස විරූපී වුනා අතපය දර ඉපල් වගේ වුනා.ජීවිතේම අපායක් වුනා.දවසක් මාව කුඩු පැකට් වගයක් එක්ක ගල්කිස්සේ පොලිසියට අහුවුනා.මට නවතින්න වුනේ වැලිකඩ බන්ධනාගාරේ,හිරේදීත් මට එළියේ වගේම ජීවත් වෙන්න පුළුවන් වුනා.පෙති,කුඩු හැම තිස්සෙම නැවතත් වරින් වර මට ගන්න ඕනේ වුනා.ඔය විදියට හිරේ ගිය මං හය වතාවක් සිරගත වුනා.

මට කුඩු වලින් මිදෙන්න ඕනා කියලා හිතුනා,අධිකරණය හරහා මම තල්දෙන කදවුරට ගියා.එතන පුනරුත්තාපන කදවුරක්,අවුරුද්දයි දවස් දාහතරකදී කුඩු වලින් මිදෙන්න මට පුළුවන් වුනා.අලුත් ජීවිතයක් ගෙවන්න බලාපොරත්තු පොඩි බැදගෙන ගෙදර ආවත් මම ගෙවපු පරණ ජීවිතේදී මට අතඅරුණ යුතුකම් වගකීම් සුමිත් අතට අරං කියලා දැනෙන්න මට වැඩි දවසක් ගියේ නැහැ.සන්ධයට මාව ඕනේ වුනේ නෑ.එයා මට වඩා අව්රුදු ගානක් බාල සුමිත් එක්ක පවුල් කන්න පටන් අරගන තිබුනා.මම සන්ධ්‍යා එක්ක රණ්ඩු කරගත්තා.අන්තිමේදී එයා මාවයි දරු දෙන්නවයි දාලා සුමිත් එක්ක පැනලා ගියා.

අම්ම මගේ දරුවෝ දෙන්නව බලා ගත්තා.අම්මගෙන් සල්ලි ඉල්ලගන එළවලු බිස්නස් ඒක ආයෙම පටන් ගත්තා.ඒත් කරුමේ කියන්නේ මගේ නිශාචර් ජීවිතේ ආයෙම පටන් ගත්තා.ආයෙම රෑට රෑට සූදු පිටි හොයාගන මළගෙවල් ගානේ යන්න පටන් ගත්තා අන්තිමේ මම ආයෙම කුඩු වලට පුරුදු වුනා.ඔය කාලේදී මාව දාල ගිය සන්ධ්‍යා මාස අටකට පස්සේ මාව හොයාගන ඇවිත් මගෙන් සමාව ගත්තා.ඒ වතාවේ දරුවෝ දෙන්නා ගැන හිතලා මම එයාව බාරගත්තා.

දුක්කරදර අතරින් ජීවිතය ඉස්සරහට ගලාගෙන ගියා.ආයෙත් මාව පොලිසියට අහුවුනා.ඒ පාර හිරේ ගිහින් එනකොට සන්ධ්යාට තවත් දරුවෙක් ලැබිලා.ඒ දරුවා මගේද මම දන්නෙත් නෑ.ජීවිතේ අඩු වැඩි වශයෙන් මම වැරදි කළා සන්ධ්‍යා කියන්නේ මම නිසා එයා වැරදි කරන්න පෙලබුනා කියලා.ඇත්ත....ඔක්කොම මගේ වැරදි.මං දරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කියලා කොල්ලෙක් වගේ විනෝදෙ සතුට හොයන්න ගිහින් ජීවිතේම නැති කරගත්තා.මේ වගේ වැරදි කිසිම පිරිමියෙක් නොකළ යුතුයි ඇත්තටම මං දිහා බලා මගේ කතාව කියවලා ඔයාල හරි පාරේ යන්න.

අද මම අපේ බෝධානන්ද හාමුදුරුවන්ට පින්සිද්ධ වෙන්න බුදු බව ලැබෙන්න ආයෙමත් කුඩු වලින් මිදිලා,ආයෙත් මං කරුමක්කාරයෙක් වෙන්නේ නෑ.අද මට ඉන්නේ මගේ දරු දෙන්න විතරයි,කඩයක් වත් ත්‍රීවිල් එකක්වත් අද මට නැහැ.ඒත් මට නැගිටින්න පුළුවන්.පොලට ගිහින් ගෝනියක් එලාගන බිස්නස් කරලා හරි මං කරුම ජීවිතෙය ආයෙත් නොවැටී ඉන්නවා.




No comments:

Post a Comment