Friday, September 19, 2014

රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත


ත්‍රීවීල් රස්සාව කියන්නේ පුදුමාකාර අත්දැකීම් සම්භාරයක් ජීවිතයට එකතුකරන.සිමාමයිම් මේ යයි පෙන්වන්න බැරි රස්සාවක්.පිටතින් බලනකොට ත්‍රීවීල් කාරයෝ කියලා බොහොම අඩු තක්සේරුවෙන් ඒ අපේ සහෝදරයෝ ගැන කතා කරන අයත් ඉන්නවා.සහෝදරයෝ විතරක් නෙමේ දැන් සහෝදරියොත් ත්‍රීවීල් රස්සාවට යොමුවෙලා.ඒත් ඔය ලොකුයි,වැදගත් කියලා හිතාගන ඉන්න කාගේ කාගේත් පැටිකිරිය කාටත් වඩා හොදට දන්නේ ත්‍රීවීල් රස්සාව කරන අය.හොරු,කුඩු කාරයෝ,ගංජා කාරයෝ,ගණිකාවෝ,නෝනලා මහත්තයලා හැමෝටම මේ ත්‍රීවීල් රස්සාව කරන අය ක්ලෝස්.අපිත් පුංචි මිනිස්සු නිසා අපේ පන්තියේ මිනිස්සු තමයි ගොඩක්ම මේ ත්‍රීවීල් රස්සාව කරන්නේ...ගමේ ඉස්කෝලේ ගාව ත්‍රීවීල් දුවන,රෑට ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ගාව ත්‍රීවීල් දුවන අයියලා මල්ලිලාගේ රස අත්දැකීම් ටිකක් තමයි මේ විදියට දිගහැරෙන්නේ....

දවල්ට වගේ නෙමෙයි රෑට දුවන කොට මොන ජල්තරස් එකකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නෑ..දහය පැන්නට පස්සේ හුගක් ටවුන් වල මිනිස්සු නෑ.ඒ වෙලාවට දුර සිට එන බස්වලින් බැහැලා එන කෙනෙකුගේ මිසක් වෙන හයර් නෑ කියල අපි දන්නවා.බස් එන ටයිම් දන්නා හින්දා ඒ වෙලාව එනකම් හුග දෙනෙක් පිටිපස්සේ සීට් එකට ගිහින් නිදාගන්නවා. බස් එක දුරින්ම එන සද්දේ ඇහෙනකොටම අපි වීල් එක ඉස්සරහ.

සමහර වෙලාවට එකම පාරේ යන්න තියෙන හයර් දෙක තුනම එකට දාගන ගිහින් වෙන වෙනම තුන්දෙනගෙන්ම සල්ලි ගන්නවා.රෑ හින්දා කව්රුවත් කතා කරන්නේ නෑ.පොරොන්දු වෙච්ච ගාන දීලා බහිනවා.

රෑ දුවනකොට “පොඩ්ඩක් ඉන්න..ගෙදරින් සල්ලි අරගන එන්නම්”කියල අතුරුදන් වෙච්ච අයත් ඕනේ තරම්.දැන්නම් ඒ සෙල්ලම් හරියන්නේ නෑ..සල්ලි ගේන්න යන එකාගේ පස්සෙම උගේ ගෙදරට රිංගනවා.

සල්ලි ගන්න අමාරු මර්සිකාරයෙක් වගේ පේනවා නම්,නැත්නම් වැඩි වෙන්න බීලා ඉන්න එකෙක් නම් ලගම තියෙන ෂෙඩ් එකට අල්ලලා හයර් එකේ ගානට කිට්ටුවෙන්න තෙල් ගහගන ගෙවන්න සල්ලි ඉල්ලනවා.එතකොට හොර බොරු බෑ.කොහෙන් බැහැලා ගියත් අපිට කමක් නෑ.එහෙම කරපු ගමන් මේ හයර් යන්න ආව කෙනා කොහොම කෙනෙක්ද කියල තේරෙනවා,ගහපු පෙට්‍රල් වලට සල්ලි ගෙවන්න අබරුනොත් අපි දන්නවා මූ යන්න ඕනේ තැනට ගිහින් දුවන්න බලාගන නගපු එකෙක් කියලා.ඒ වෙලාවට තමයි කනට දෙකක් දීලා ඇදලා දාන්නේ..

සමහරු ඇත්තම කියනවා. “අතේ සල්ලි නෑ අයියේ..ඔයා තෙල් වලට ගෙවන්න.මම ගෙදර ගිහින් දෙන්නම්”කියලා.එහෙම මහත්තුරු වගේ කතා කරලා ගේ පෙන්නලා මාරු වෙච්ච අයත් ඉන්නවා ඒත් දැන් ඒවා බෑ...
එදා ආවෙත් හොදට ඇද පැළද ගත්තු තරුණ පහේ කෙනෙක්.තරමක් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක පාර්සලෙකුත් තිබුනා.කතා කෙරුවේ දෙදහස් අටසීයක හයර් එකක්.ඒ වගේ හයර් එකක් ලැබෙනවා කියන්නේ දවසටම ඇතිනේ.කෙලින්ම ගමන යන්න පටන් ගත්තා.දැන් වෙලාව රෑ නමයටත් නෑ..තාම ගෙවල් වල ලයිට් දාලා.බහින තැන කිට්ටු වෙද්දී මිනිහා කලබලෙන් වගේ සාක්කු අතපත ගානවා.

“හරි වැඩේනේ..මගේ පර්ස් එක වැටිලා වගේ.ම්..කොහෙද මේක වැටුනේ ” අයෙමත් පිටිපස්සේ සීට්එක උඩ හොයන්න ගත්තා.මමත් ඇවිල්ලා බැලුවා සීට් එකේ උඩ යට හැමතැනම බැලුවා.පාර්සලය උස්සලත් බැලුවා.

“කමක් නෑ-කමක් නෑ..එච්චර ලොකු ගානක් තිබුනේ නෑ.අර පෙන්නේ අපේ ගෙදර.ඔහොම ඉන්න මම සල්ලි අරන් එන්නම්” අඩි දෙක තුනක් යන්න ගිහින් ඔහු ආයෙත් නැවතිලා හැරුනා.

“කීයද ගාන කිව්වේ..දෙදහස් අටසීයක් නේද..” එයාගේ පස්සෙන් ගෙදරට යන්න ඕනේ නෑ කියල හිතුවේ පාර්සලය ත්‍රීවීල් එකේ හින්දා.

පැය භාගයක් විතර ගියා.මනුස්සයා නෑ.අර තියෙන්නේ ගේ කියල පෙන්නපු ගෙදරත් ලයිට් නිමුනහමයි සැකය තවත් වැඩි වුනේ.බලන්න යන්න විදියක්ත් නෑනේ..මේ යකාගේ පාර්සලේ මේක ඇතුලෙනේ ඒක කව්රු හරි උස්සගන ගියොත් සේරම ඉවරයි.වටිනා දෙයක් තිබුනොත් අලාභේ ගෙවන්න හයර් ඒක මදිවෙයි.

කොහොම උනත් අන්තිමේ තීරණේ කෙරුවා පාර්සලයත් උස්සගන පෙන්නපු ගෙදරට ගිහින් කතා කරන්න.
කිලෝ දහයක් විතර බර පාර්සලයක්.කරන්න දෙයක් නෑ.ඒකත් උස්සගන ලයිට් නිවලා තියෙන ගේ ලගට ගිහින් දෙතුන් පාරක් කතා කළා.දොරට දෙතුන් පාරක් ගහනකොටම එළියේ ලයිට් වැටුනා.

“ඇයි..?”
“කෝ..දැන් මෙහාට ආපු මහත්තයා..”
“මොන මහත්තයද..?”
“දැන් පැයකට විතර ඉස්සර වෙලා මගේ ත්‍රීවීල් එකෙන් බැහැපු මහත්තයෙක් මෙහාට ආවා.මේක තමයි ගේ කියල පෙන්නුවේ.හයර් සල්ලි ගේන්නම් කියලා ආවේ.”

ඒ එලියට ඇවිත් හිටපු මාමා දහඅතේ කල්පනා කරනවා.

“ඔය කියනවා වගේ කෙනෙක් අපේ ගෙදර නම් නෑ..ඒත් මම මේ කල්පනා කෙරුවේ මෙතනින් බැහැලා ගියා කියපු හින්දා පහල ගමෙවත් එහෙම කෙනෙක් ඉන්නවද කියලා ..ම්හ්..නෑ පුතේ එහෙම කෙනෙක් මේ පැත්තේ නෑනේ..”

දෙවිහාමුදුරුවනේ මේකා හොල්මනක්වත් ද.එහෙම නම් පෙට්ටිය.ඒකත් අතුරුදහන් වෙන්න එපයි.ගෙදර ලයට් එක යට තියාගනමව පෙට්ටිය ලෙහුවා.ගඩොල් කැට තුන හතරක් ලස්සනට අඩුක්කරලා.ඒ උඩින් පත්තර කෑලි වගයක් පුරවලා.ඒක දැක්කාමයි තේරුනේ මේක හිතා මතා කරපු වංචාවක් කියලා.රුපියල් දෙදහස් අටසීයකට මූ කොච්චර මහන්සි වෙළද...කරන්න දෙයක් නෑ බැන බැන හිස් අතින් ආපහු එන එක තමයි කරන්න තියෙන්නේ.

දවල් රස්සාව එහෙම නෙමෙයි,රෑට ත්‍රීවීල් කෙරුවාවට වඩා ගොඩක් වෙනස්.
දවල් කාලෙට වුනත් ඉස්පිරිතාලයක් ඉස්සරහ කරන ත්‍රීවීල් රස්සාව තමයි විවිධාකාර අත්දැකීම් ලබාදෙන්නේ.බබාලා හම්බුවෙලා ගෙවල් වලට යන අය.ලෙඩ්ඩු තුවාල කාරයෝ,බොහොම පරිස්සමින් තමයි එක්ක යන්න වෙලා තියෙන්නේ.සමහරුන්ට සති ගණන් ඉස්පිරිතාලේ ලැගලා හත වැදිලා ඉන්නේ.ඒත් ගෙදර ගියාට පස්සේ දරුවගේ කනේ දෙක හරි ගලවාගන ඇවිත් උකස්‌ තියලා සල්ලි දෙන මිනිස්සු ඉන්නවා.

දරුවෙක් අරගන මුල්ම වතාවට ගෙදරට යන මිනිස්සු තමයි හොදට සලකන්නේ.පොරොන්දු වුනු ගානට වැඩියෙන් කීයක් හරි හම්බුවෙනවමයි.සමහරුන්ගෙන් ඇග රත්කරගන්නත් හරි සැලකිලි.එහෙම හයර් එකක් තමයි අපි කොයි වෙලාවෙත් බලාපොරොත්තු වෙන්නේ.
ඒ හින්දම වීල් පාක් එක ඉස්සරහින් ඉස්පිරිතාලෙට යන එන,දන්නා නොදන්නා හැම කෙනෙක් එකක්ම හිනා වෙනවා.ඒ හිනාවට තමයි මිනිස්සු ඇදිලා එන්නේ.දවසක් හිතාගන්න බැරි වැඩක් වුනා.

හොදට ඇද පැළද ගත්තු අවුරුදු තිහක විතර ජෝඩුවක්‌ බස් එකෙන් බැහැලා ඉස්පිරිතාලෙට එනවා.මම පුරුදු හිනාව දැම්මා දෙන්නටම,මිනිහ නම් ආ විදියටම බුකවගන ගියා.ඒත් ගෑණු කෙනා ලස්සනට අහිංසක විදියට හිනා වෙලා ගියා.
පැයකට විතර පස්සේ ඒ ගෑණු කෙනා ඈතින් එනවා පේනවා.එයා අවේ දුර තියාම මගේ වීල් එක දිහා හොදට බලාගන.මම හිතුවේ හයර් එකක්මයි කියලා.එයා ආපු ගමන් වීල් එකේ ඉදගත්තා.

“යන්..”
කොහාටද යන්න ඕනේ කියල මම ඇහුවේ වීල් එක ස්ටාර්ට් කලාට පස්සේ.
“ටවුන් එකට..”

වීල් පාක් එකේ ඉදලා ටවුම පැත්තට මීටර් සීයක් විතර ගියාට පස්සේ එයා හෙමිහිට ගොත ගගහා මහා කලබලයකින් වගේ කතා කරන්න වුනා.

“මල්ලි!වීල් එක ඔහොම පො...පොඩ්ඩක් නතර කරනවද..” එහෙම කියනකොට ඕනේ වීල් කාරයෙක්ට ඔටෝ බ්රේක් පෑගෙනවානේ.නතර කළා.

“අනේ මල්ලි!මට ටවුමට යන්න ඕනේ කියලා ඔයාට කිව්වේ බොරුවක්...ම...මට ටවුමට යන්න ඕනේ නෑ..මට ඔයාගෙන් උදව්වක් ගන්න හින්දයි මේ වීල් එකට නැග්ගේ.ම...මම ගැන වැරදියට හිතන්න එපා..!මහත්තයත් එක්ක ඉස්පිරිතාලෙට යනකොට ඔයා හිනා වුන හින්දා මම හිතුවා ඔයා හොද කෙනෙක් කියලා,ඔයාට ඇත්ත කිව්වොත් මට උදව් කරයි කියලා හිතුනා...මට දැන් වයස අවුරුදු 32 යි මට වඩා ඕනේ නම් ඔයා අවුරුදු දෙක තුනක් බාල ඇති.මෙහෙම කියනකොට මම නරක ගෑණියෙක් කියලා හිතන්න එපා..මමයි මහත්තයයි කසාද බැදලා අවුරුදු අටක් විතර,තාම අපිට දරුවෙක් නෑ..ඒක අපේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.මහත්තයාගේ අම්මා,අක්කලා,නංගිලා සේරම මට තමයි දොස් කියන්නේ.මම වද ගැනියෙක් කියලා හැමතිස්සෙම ඇනුම්පද කියනවා,අපේ පව්ලේ එහෙම නෑ මගේ නංගිට බබාලා දෙන්නෙක් ඉන්නවා ඒත් මෙයාලා දොස් කියන්නේ මට.මගේ මහත්තයා ගුරුවරයෙක්..එයා වැඩ ඇරිලා එනකම් මම ඉන්නේ අපායක.හුගක් වෙලාවට මම මහත්තය එනකල් කාමරේට වෙලා දොර වහගන නිදාගන්නවා,දවල්ට කන්න නැගිටින්නේ කීයටහරි මහත්තයා ආපු වෙලාවක.ගෙදර සේරම එකතු වෙලා මට ගහන්නේ නැති ටික විතරයි.මහත්තයට මේවා කියලා රණ්ඩු අවුස්සන්න මම කැමති නෑ.වෙන ගෙදරකට යමු කිව්වත් එකටත් එයා කැමති නෑ.මට ජීවිතේම කලකිරිලා ඉන්නේ වෙලාවකට මැරෙනවනම් හොදයි කියලා හිතෙනවා..

කොච්චර බෙහෙත් ගත්තද,සිංහල ඉංග්‍රීසි හැම වෙදකමක්ම කෙරුවා,දේවාල ගානේ ගිහින් බාර වුනා ඒත් වැඩක් වුනේ නෑ.මේ ඉස්පිරිතාලෙට ගිය සතියේ ඇවිත් අපි දෙන්නම ආයෙත් චෙක් කරගත්තා.තාත්තා කෙනෙක් වගේ කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක් ඉන්නේ.අපිට බබාලා නැත්තේ මහත්තයාගේ අඩුපාඩුවක් හින්දලු.ඒක මහත්තයට කිව්වේ නෑ මේ දැන් මට කිව්වේ.මහත්තයාගේ ඒ ලෙඩේ හොදකරන්න බැරිලු මගේ කිසිම වරදක් නැතිලු.ඒ කියන්නේ සදාකාලිකව අපිට දරුවෙක් නැතිව මේ විදියට දුක්විදින්න තියෙන්නේ..මට ඇඩුනා....මම විදින දුක දොස්තර මහත්තයට කිව්වට පස්සේ හුගක් වෙලා කල්පනා කර කර ඉදලා තමයි මේ දේ කිව්වේ බොහොම හිතලා මතලා තමයි මට මේ තීරණේ ගන්න කිව්වේ..මට කව්රු හරි සුදුසු කෙනෙක් තෝරගන රහසේ එක සැරයක් දෙකක් ඉදලා බලන්න කිව්වා.මගේ ප්‍රශ්නයක් නැති නිසා බබෙක් එයිලු.එහෙම බබෙක් ලැබෙන්න ආවොත් ඩොක්ටර්  මහත්තයාගේ ලෙඩේ හොද වෙලා කියලා මහත්තයට කියන්නම් කිව්වා.

මහත්තයාගේ තව ටෙස්ට් එකක් කරන්න තියෙනව කියලා එයාව පැය කීපයකට වාට්ටුවේ නතරකරගත්තා.ඒ අතරෙයි ලේ රිපෝර්ට් එකක් ගෙන්න කියලා එයාට බොරුවක් කියලා එලියට ආවේ..එලියට ආවගමන් මට මතක් වුනේ උදේ අපි යනකොට හිනා වුන ඔයාව..එකයි මේ හොයාගන ආවේ..

අනේ මට උදව් කරන්න මල්ලි.මගේ ලග කාමරේකට දෙන්න සල්ලි තියෙනවා.අනේ මට පිහිට වෙන්නේ.ඔයාව වරදකට පොළබව ගන්න හදනවා කියලා හිතන්න එපා..”

මට හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියල.මම ගොළු වෙලා නෙමෙයි කතා කරන්න වචන හොයනවා.මට එක වචනයක් කතා කරන්න ඉඩ තියන්නේ නැතුව කියාගන කියාගන ගිය ඇගේ ඇස් වල කදුළු.

“මම ඔයාට සල්ලි දෙන්නම්,හයර් එකත් දෙන්නම්..!අපේ ගම්පලාතේ දන්නා කෙනෙක්ගෙන් මේ උදව්ව ඉල්ලන්න බෑ.මුළු ජීවිත කාලෙටම රැකගන්න ඕනේ රහසක් වෙනුවෙන් මම මේ උදව්ව ඉල්ලන්නේ...අනේ මල්ලි පිං සිද්ධ වෙයි...තව ටික වෙලාවකින් මම මේ ලේ රිපෝර්ට් එක අරගන ආපහු හොස්පිට්ල් එකටත් යන්න ඕනේ.”

ස්ටාර්ට් කරගත්ත වීල් එක.කට්ටිය යන එන තැන් අපිට ගෙවල් වගේ වුනත් හොද විශ්වාසවන්ත තැනකට එක්කන් ගියා.කාමරේදීත් එයා ආයේ ඇඩුවා.දුකින් නෙමේ පුදුම සන්තෝසෙකින්..පැය භාගෙකින් විතර පස්සේ එලියට ඇවිත් ආයෙත් ත්‍රිවිල්එකට ගොඩ වුනා.ඉන්න ගම්පලාත මොකුත් කිව්වේ නෑ.මග දිගට එනකලුත් එහෙමයි කිසිම කතාවක් නැහැ.ඉස්පිරිතාලේ ඉස්සරහින් බැස්සේ මගේ අතට දාහේ කොලේකුත් දීලා.

“සල්ලි එපා ඕක තියාගන්න..” මටත් ඉස්සර මගේ ඒ වචන ටික එලියට පැන්නා.
“නෑ..ඕක තියාගන්න මල්ලි..මම හිතන දේ හරිගියොත් ඔයා මට සදාකාලික දෙවියෙක් වෙනවා”

එච්චරයි එයා කිව්වේ.ඉස්පිරිතාලේ ඇතුලට රිංගගන නොපෙනී ගියා.පුදුම වෙලාව කියන්නේ මට ආයේ පැය භාගයක් විතර යනකල් හයර් එකක් ආවේ නෑ.ඈතින් පේනවා දෙන්න ඉස්පිරිතාලෙන් එලියට ඇවිදගන එනවා.නොදන්නා කෙනෙක් වගේ මගේ දිහා බලලා මහත්තයත් එක්ක ගිහින් බස් එකට නැග්ගා..ඒ සිද්ධියට දැන් අවුරුද්දකට වැඩි ආයේ මම කවදාවත් එයාව දැක්කේ නෑ..එයා වෙන ඉස්පිරිතාලෙකට ගියාද නැත්නම් ඇය ප්‍රර්ථනා කල දේ ඉටුවෙලාද...

No comments:

Post a Comment