Friday, September 19, 2014

මල්ලියනේ ... 3



මගේ ගම රත්මලාන.මම පවුලේ එකම දරුවා.අම්මයි තාත්තයි මට ගොඩක් ආදරේ කළා.අම්මයි තාත්තයි ලංකාවේ ප්‍රසිද්ධ පාවහන් ෆැක්ටරි එකක වැඩ කළා.එයාලා මාව බලාගන්න වෙනම අම්ම කෙනෙක් හිටියා.මම එයාට කිව්වේ ඇන්ටි අම්මා කියලා.ජේ.වී.පී කාලේ අම්මගෙයි තාත්තගෙයි රස්සාව නැති වුනා.ඒ නිසා කඩන වැටුන ආර්ථිකේ ගොඩ ගන්නත් එක්ක අම්මා ඇන්ටි අම්මයි තාත්තයි ලග මාව තියලා ගෘහ සේවිකාවක් විදිහට ඩුබායි ගියා.පොඩි කාලෙකින් අම්මා ඩුබායි වල වෙනම එයාගේ ව්‍යාපාරයක් ආරම්භ කළා.

පුංචි කාලේ ඉදලා මට තිබුනේ පුදුම නිදහසක්.තාත්තට වුනත් මම ගැන හොයන්න වැඩි වෙලාවක් තිබුනේ නෑ.ඇන්ටි අම්මත් ගොඩක් වයසයි.අම්මා රට නිසා සල්ලි වලින් මට අඩුවක් තිබුනෙත් නෑ,මම මුලින්ම බිව්වේ සිගරට්.එතකොට මම ඉස්කෝලේ අට වසරේ.එදා මට සිගරට් එකේ පුදුම ආතල් එකක් තිබුනා.ඇත්තටම පාසල් කාලේ කියන්නේ ඕනෑම විනාශයක් සැපක් කියලා අත්හදා බලන කාලයක්,.

මම ඕලෙවල් කළා..ටියුෂන් වලට රට වටේම තියෙන තැන වලට ගියා.සල්ලිත් යහමින් අතේ තිබුනා.මම ගංජා ගහන්නත් පටන් ගත්තා.ගංජා වල තිබුනේ සිගරට් වලට වඩා අමුතුම සැපක්.එදා මට හිතුනේ එහෙමයි.

ඩුබායි වල රස්සා කල මගේ අම්ම අසනීප වුනේ හිටි හැටියේ,ඒ නිසාම මට අම්ම කරගන ගිය හෝටලේ කරන්න ඩුබායි යන්න සිද්ධ වුනා.ඒ රටේදී අම්මා මට දෙන්න පුළුවන් හැම සැපක් ම දුන්නා.එහෙදි පාවිච්චි කරන්න කාර් එකක් පවා අම්ම අරගන දුන්නා.මගේ අම්මා ඩුබායි වලදී කරපු කිසි දෙයක් මට ඒ හැටි දැනුනේ නෑ.මොකද මට ගොඩක් පුරුදු ඇන්ටි අම්මව.මගේ අම්ම ගොඩක් දුරයි මගේ හිතට.මොකද මාව දාලා ඩුබායි ගිය දා ඉදලා මගේ අම්මා ලංකාවට ඇවිල්ල තිබුනේ දෙතුන් වතාවක් විතරයි.

ඩුබායි කියන්නේ නිදහස රටක්,මම නයිට් කලබ් යන්න පුරුදු වුනා.අම්මගේ ව්‍යාපාර් නිසා මට සල්ලි විතරක් නෙවේ නිදහසත් ලැබුනා.ඒ රටේදී මට මුණගැහුනා බෝනික්කෙක් වගේ කෙල්ලෙක්,ඒකි පිලිපින්.පිලිපීන් කෙල්ලෙඕ ගෙවන ලයිෆ් එක මොකක්ද කියලා ගොඩක් අය දන්නවනේ.මං ලයිෆ් එක එන්ජෝයි කළා.ඩුබායි වල කැසිනෝ ක්ලබ් මගේ නවාතන්පොලවල් වුනා.ඒ හැමදේම සුරපුරයක් කියලා මට හිතුනා.ඩුබායි වලදී කැසිනෝ වලට ඇතුල්වීම නොමිලේ ලංකාවේ වගේ නෙමෙයි.ඒ රටේ කස්ටම්ර්ව සැටිස් කරන්න අවුරුදු දාහතේ,දහ අටේ කෙල්ලෝ ඉස්සරහට දාලා.ලිංගිකත්වයට ඇදිලා එන සල්ලි කාරයෝ තමන්ගේ දුවගේ වයසේ කෙල්ලෝ එක්ක රෑ එළි කරනවා.

අම්ම අසනීප වුනාට ඩුබායි ගියාට අම්මට හයියක් වෙන්න මට බැරි වුනා.මම කාලේ ෆන් එක ගත්ත එක විතරයි.සිගරට්,ගංජා අරක්කු විතරක් නෙවේ ශිෂා කියන මත්ද්‍රවයත් ගත්තා.ශිෂා කියන්නේ එක එක පලතුරු ෆ්ලෙවර් දාලා බටෙකින් උරලා බොන මත්ද්‍රව්‍යකට.ඒ රටේ සල්ලි වලින් ශිෂා උරන්න යන වියදම ඩිරාම් පණහයි.අවුරුදු තුනක් ඩුබායි ඉදලා මං දෙදාස් අටේ ලංකාවට ආවා.යාළුවො රෑනක් මට හිටියා.රට ගිහින් ආව අමුතු මොරාල් එකත් එක්ක මම යාළුවො අතර කැපිලා පෙන චරිතයක් වුනා.


ඔය කාලේදී මගේ යාළුවො සෙට් එකක් එක්ක ලොකු ගේමකට සෙට් වුනා.ඒ ගමනේදී යාළුවො ගිය වාහනේ Drive කාලේ මම.මොකද යාළුවො කාටවත් ඩ්‍රයිවින් බෑ.නුගේගොඩ පැත්තේ ප්‍රසිද්ධ ජුවලරි ෂොප් එකක් කොල්ල කන්න යාළුවො සෙට්වුන ගේමට මාත් ෆිට් එකේ බැස්සා.ඇත්තටම මට සල්ලි ඕනේ කමක් තිබුනේ නෑ.අම්ම සල්ලි එවුවා මට වියදමට.ඒත් කරුමෙට පවට හිත දුන්නම කරන දෙයක් තේරෙන්නේ නෑ.

අපි එදා සවස පහට විතර ජුවලරි ෂොප් එක ලගට ගියා.මං කාර් එක අරගන ගියා.යාළුවො හතර දෙනෙක් මාත් එක්ක ගියා.ටී පනස් හයක්,පිස්තෝලයක් අරගන යාළුවො හතරදෙනා ජුවලරි ෂොප් එකට ගියා.එතන සේවකයක් බය කරලා කෝටි එකහමාරක් අපි එදා කොල්ලකෑවා.මං ඩ්‍රයිවින් ෂිට් එකේ හිටියා.යාළුවො සෙට් එක බඩු අරගන කාර් එකට නැග්ග ගමන මම ලෑල්ලට පාගලා වැහෙන් ඩ්‍රයිව් කළා.ඒ දවස් වල හැම පත්තරේකම,හැම චැනල් එකකම මේ කොල්ලය ගැන නිව්ස් ගියා.

අපි වේගෙන් පැනලා යනකොට කොහුවල පොලිසියේ ජීප් එක ඉස්සරහට ආවා.පොලිසියෙන් පැනලා මං වාහනේ වේගෙන් ධාවනය කළා.හැන්දෑවේ පහමාර නිසා පාරේ ට්‍රැෆික් එකත් තිබුනා.කොහුවල පොලිසියේ ජීප් එක අපේ පස්සෙන් පැන්නුවා.පන්නන අතරේ වෙඩි තිබ්බා.අපේ සෙට් එකත් පොලිසියට වෙඩි තිබ්බා.අන්තිමට අපේ එක යාලුවෙක්ට වෙඩි වැදුනා.ශෝට්කට් වලින් දදා පැනලා යන්න ට්‍රයි කළා මිස අපි නතර වුනේ නෑ.සදුන් කියන යාලුවට වෙඩි වැදිලා ලේ ගලනවා.අපේ ශක්තිය අඩපන වෙනවා.දිගටම පොලිසියෙන් අපට වෙඩි තියනවා.අන්තිමට පොලිස් කණ්ඩායම් කීපයක් අපිව වට කළා.කැරකිලා කැරකිලා දෙල්කද හන්දියට ආවහම අපිව අත්අඩංගුවට පත්වුනා.අල්ල ගත්ත වෙලේ ඉදන් පොලිසියෙන් අම්බානක අපිට ගැහුවා.ඇගිලි වලින් එල්ලුවා,බැට් වලින් විකට් පොලු වලින් ගැහුවා.එදා මට ජීවිත කාලෙටම හොයපු සැප සනිපෙටම දැනුනා.එදා පොලිස් ලොක්කා ඇවිත් කිව්වේ ඇයි මුන්ව පණපිටින් තිබ්බේ වෙඩි තියන්න තිබුනේ කියලා.අපිට ගැලවීමක් තිබුනේ නෑ.බන්ධනාගරේට දානවා වෙනුවට ගංගොඩවිල උසාවියෙන් රැදවුම් නියෝග අරගන දවස් හතක් අපෙන් ප්‍රශ්න කළා.ජීවිතේ කණපිට ගහන තරමට අපෙන් ප්‍රශ්න කළා.දවස් හතකට ගත්ත රැදවුම් බාරය මාසයක් වුනා.අම්මගෙන් බීපු රන් කිරි කටින් එන කල්ම අපි පස්දෙනාට පොලිසියෙන් ගැහුවා.මාසෙකින් ආයෙමත් උසාවි දාලා අපිව වැලිකඩ දැම්මා.වැලිකඩ එල් හෝල් එකේ මගේ ජීවිතේ පෙළගැහෙන්න ගත්තා.

සල්ලි තිබුන නිසා හිර ගේ රජ ගෙයක් වුනා.ඇතුලේ අයියල කුඩු පැකට් ඉස්සරහ දෙකට නැමුනා.හැමදේම අතට පයට ලැබුනා නමුත් ඒක හිරගෙයක්.හුස්ම වැටුනත් හුස්ම හිරවුණු ජීවත් වුනත් ආත්ම පණ අදින ඒක හිරගෙයක්.මට ඉන්න බෑ කියල හිතුනා.ඒත් කොහොමද එලියට යන්නේ.මං ක්‍රමයක් හෙව්වා.ඉන්න තැන සතුටින් ඉන්න පුළුවන් විදිහක් හෙව්වා.අන්තිමේ මම හොර පාරෙන් මොබයිල් ෆෝන් එකක් හිරේට ගෙන්න ගත්තා.ඒ ෆෝන් එකෙන් අම්මට,තාත්තට,යාලුවන්ට කොල කළා.ඒත් හිරකාරයෝ මැද මොන සතුටක්ද.මොන සැනසීමක්ද,ජීවිතේ ගෙවිලා ගියා.දවසක් රෑ ජාමෙට මට ලොකු පාළුවක් දැනුනා.මම යාලුවෙකුට කෝල් කළා.නමුත් එහා පැත්තෙන් ඇහුනේ ගෑණු කටහඩක්.මං හිතුවේ මගේ යාළුවා සමීර ගේ නංගි කියලා.මං කිව්වා නංගි මම සෙනේෂ් අයියා ෆෝන් එක සමීරට දෙන්න කියලා.ඒ වෙලාවේ ඒ ගෑණු කෙනා මට බැන්න.

දන්නේ නෑ මොකද කියලා.මට ආයෙත් කතා කරන්න හිතුනා.මං ආයෙත් කෝල් කළා.එයා මට දිගටම බැන්නා.මම දිගටම මිස්කෝල් දුන්නා.ඒත් අන්තිමේ මං ඇහුවම ඔයා කව්ද කියලා එයා කිව්වා මෝහිනී කියලා,මම කිව්වා මං මොහිනිගේ තාත්තා කියලා.ඔය විදියට පටන් ගත්ත කතාව රැයක් දවාලක් නැතව ගෙවිලා ගියා.අපි මල්ගෝනි ගණන් කැඩුවා.මට හිරගෙදරදී ලොකු සතුටක් දැනුනා.ඒ එයා නිසා.එයාගේ නම රුවනි.එයාව රවට්ටන්න මට දුක හිතුනා.මං කිව්වා මං ඉන්නේ හිරේ කියලා.එයා විශ්වාස කලේ නෑ ඒ ඇත්ත පිළිගන්න එයා බය වුනා.පස්සේ මගේ කතාව ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව මං එයාට කිව්වා.එයත් එයාගේ කතාව කිව්වා,එයා විවාහකයෙකුට අහුවෙලා කෙල්ලෙක් විදියට රකින්න ඕනේ හැමදේම නැති කරගත්තු ගෑනියෙක් විදියට එයාට ගෙවන්න වෙලා තිබුනේ කෙල්ලෙක්කුට උහුලන්න බැරි ජීවිතයක්.ඒ විවාහකයා එක්ක එයා බීච් එකට ගිය වෙලාවක එයාලව පොලිසියෙන් අල්ලගත්තු බව කිව්වා.එදා උගේ ගෑණිට මේවා ආරංචි නොවී ගැලවෙන්න ඕනේ නිසා රුවනිව පොලිසියේ එකාට දුන් බව එයා මට කිව්වා.ඒ වෙලාවේ පොලිස් කාරයා එයාට වදදීලා ලිංගිකව එකතු වුන බව එය මට කිව්වා.එදා එයත් එක්ක මමත් ඇඩුවා.හිරගෙදර කඩාගන එලියට එන්න මට හිතුනා.ආදරේ කරපු කෙල්ලව තව මිනිහෙකුට දෙන්න පුලුවන්ද.ඒ මිනිහා මොන තිරිසනෙක් ද.

එදා රෑ මට නින්ද ගියේම නෑ.මම එළිවෙනකල් කල්පනා කළා.මම එයාව කසාද බදින්න තීරණේ කළා.ඒ බව මම එයාට කියලා කිව්වා මාව බලන්න හිරගෙදරට එන්න කියලා.මගේ තාත්තට කතා කරලා කිව්වා එයාව එක්ක එන්න කියලා.ඒ ගෑණු ළමයා කව්ද තාත්තා මගෙන් ඇහුවේ නෑ.තාත්තා මම කියපු දේ කළා.හිතාගන්න පුලුවන්ද අපේ හැගීම.එදා අපි දෙන්නගේ ඇස් වලට කදුළු පිරුනා,මං ඇත්තටම පොරොන්දු වුනා එයාව බදින්න.ඇත්තටම මං කලේ පියෝ ලව් එකක්.

මාත් වැරදි කල මිනිහෙක්,එයත් එහෙමයි කමක් නෑ.හැමදේටම සමාන වෙන්න පුළුවන්,මට හිතුනේ එහෙමයි.ඒ විදියට පටන් ගත්ත ජීවිතේ මං එයාට ගොඩක් ආදරේ කළා.හිරෙන් නිදහස් වෙන්න දින ගැන්නා.එයා ලස්සනම කෙල්ලෙක් නෙමෙයි කළු ගෑණු ළමයෙක්.මං ඒ හැමදේම හරි ලස්සනට දකින්න ගත්තා.මං දන්නවා ලෝකේ වටේ ගිහින් මොන විදියට ගෑණු ආශ්‍රය කලත් ඕනෑම කොල්ලෙක් කැමති කව්රුවත් අතකින්වත් නොඅල්ලපු කෙල්ලෙක්ට.නමුත් මට ඔනාවුනේ ඒ හැමදේම පැත්තකින් තියලා රුවනිගේ ජීවිතේ ආලෝකමත් කරන්න.ඒ නිසයි අතින් අතට ගිය මල්වට්ටිය මං බාරගන්න හිතුවේ.

දවසක් මගේ ෆෝන් එක කැඩුනා.හිරේ ඉන්නවා ෆෝන් හදන කොල්ලෙක්.සල්ලි නෙමෙයි කුඩු තමයි එයාට දෙන්න ඕනේ.කුඩු පැකට් එකක් අරන් දීලා මම ෆෝන් එක හදාගත්තා.ඒ විදියට ඇතිවූ ඒ හිතවත් කම යාළුකමට පෙරලුනා.උගේ නම සුසර.හිරේදී කුඩු වෙනුවෙන් එයා හුගක් දේ කළා.දන්නේ නෑ මොන කරුමෙටද කියලා ඌ මට හොද යාලුවෙක් කියලා හිතුනා.දවසක් සුසර කුඩු ගහනවා දැකලා මට හිතුනා කුඩු ගහන්න.මම සුසරගෙන් කුඩු ඉල්ලුම්ව ඌ මට දෙන්න බෑ කිව්වා.ඒත් මට ඕනා වුනා.මම කිව්වා එක ෂොට් එකක් දියන් කියලා.කොහොම වුනත් අන්තිමේදී මම දින්නා.පලවෙනි දවසේ කුඩු ගැහුවට පස්සේ දවස් හතරක් මං හොදට හිටියා.පස්සේ මම යාලුවට කියලා කුඩු අරගන බිව්වා.එළියෙන් මගේ මොබයිල් ෆෝන් එකට ගෙන්න ගන්න රිලෝඩ් වලින් මම සල්ලි හොයාගත්තා.දවසින් දවස මම කුඩු වලට ඇබ්බැහි වුනා.කුඩු ගහලා නින්දත් නොනින්දත් අතර ඉන්න මම ආස කළා.මම හිතුවා ඒක මම ඇස් ඇරගන දකින දිවියලෝකේ කියලා.

මං හිරෙන් නිදහස් වෙන දවස උදා වුනා.මාස දහයකට පස්සේ මම ඇපපිට නිදහස් වුනා.හිරෙන් නිදහස් වෙලා මම මුලින්ම ගියේ රුවනිව බලන්න.මට ඕන වුනා එයාව ඇස් දෙක වගේ බලාගන්න.මම ඒ තරමට එයාට ආදරේ කළා.ඒත් අපේ ගෙදරින් රුවනිගේ ගැන විස්තර හොයලා බලලා තිබුන නිසා මම එයාව කසාද බදිනවට අපේ ගෙදරින් අකමැති වුනා.ව වෙලාවේ මං තීරණේ කළා රුවනිව කාටත් හොරෙන් විවාහ කරගන්න.රුවනිව කසාද බැදලා මම රට ඉදපු මගේ අම්මට කෝල් කරලා කිව්වා මම කසාද බැන්දබව.අම්ම කිව්වේ කොහෙවත් යන්න එපා ගෙදර යන්න කියලා.ඒ වෙලාවේ අතේ සල්ලි තිබුනේ නෑඒත් හිතුව රුවනිව එක්කගන ගෙදර යන එක තමයි හොදම දේ කියලා.

ගෙදර ගියහම තාත්තා මාත් එක්ක රණ්ඩු කළා.තාත්තා හිටියේ ලොකු හිතේ අමාරුවකින්.මගේ තාත්තව පාලනය කරගන්න මට මාසයක් විතර ගියා.හැමදේම සාමාන්‍ය අතට හැරිගනඑද්දී  මං රස්සාවක් කරන්න හිතුවා.බම්බලපිටියේ ප්‍රසිද්ධ කැසිනෝ කලබ් එකක විධායක නිලධාරියෙක් හැටියට මං ජොබ් එක පටන් ගත්තා.අඩ අදුරේ අරක්කු,ගංජා,කුඩු සමග මගේ ජීවිතේ රසවත් වුනා.දවසක් කලබ් එකට ආපු ව්‍යාපාරිකයෙක් හාට්ඇටෑක් හැදිලා මැරුණා.අන්තිමේ ඔහු සතුව තිබුන වටිනා ආභරණ මිල මුදල් ඔහුගේ බිරිදට භාරදෙන්න වුනේ මට.ඒ ආභරණ බාරගන්න ඇවිත් ඉදපු ව්‍යාපාරිකයාගේ බිරිද එයාගේ මහත්තයාව කැසිනෝ කලබ් එකෙන් මරාගත්තා කියලා බැන්නා,ශාප කළා,එදා මං කලබ් එකේ තවත් එක සේවකයෙක් විතරයි කියලා ඒ වෙලාවේ එයා හිතුවේ නෑ.ඒ කාලය වෙනකොට මගේ වයිෆ්ට දරුවෙක් ලැබෙන්න හිටියේ.උපදින්න ඉන්න දරුවටත් මගේ ගෑනිටත් මං ගොඩක් ආදරේ කළා.මට එදා ව්‍යාපාරිකයාගේ බිරිද කියපු හැමදේම හරිම දරුණු විදියට මට දැනුනා.මගේ නොවුන කලබ් එකක මියගිය කෙනෙක් නිසා මම එදා බැණුම් ඇහුවා.ඒ ගෑනි මට ශාප කළා.මං එදාම රස්සාවෙන් අයින් වුනා,

ඒ ජොබ් එකෙන් අයින් වෙලා ත්‍රීවීල් එකක් හයර් කරන්න පටන් ගත්තා.අම්මත් හැම මාසෙම සල්ලි එවපු නිසා අපිට අඩුපාඩුවක් වුනේ නෑ.ඔහොම ඉන්න අතරේ මම කුඩු වලට පුදුම විදියට ඇබ්බැහි වුනා.ඒ කාලෙදිම මගේ බිරිදට දුවෙක් ලැබුනා.ඒ දුව මගේ මුළු ලෝකෙම එලිය කළා.මගේ අම්මා ඩුබායි වලින් මගේ දුවට ඕනේ හැමදේම එවුවා.මගේ ගෙදර හැමතැනම සතුට පිරිලා ඉතිරුනා.මට ඕනේ වුනා කුඩු නතරකරන්න.පුවක්පිටිය පැත්තේ පුනරුත්ථාපන කදවුරක මං නතර වුනා.එතන ඉන්න පුළුවන් වුනේ මාස එකහමාරයි.දවසක් වයිෆ් දුවවත් අරගන මාව බලන්න ආවා.දරුවාව දැක්කම මට හිතුනෙම ගෙදර යන්න.හිත හදාගන ඉන්න බැරිම තැන මම එතනින් පැනලා ආවා.පැනලා ඇවිත් මං ආයෙම ත්‍රීවීල් රස්සාවට බැස්සා.ඒත් ත්‍රීවීල් රස්සාව මාව තව තවත් කුඩු වලට ලං කළා.දවස පුරාම හම්බකරන හැම සතේම කුඩු වලට වියදම් කළා.කුඩු නතර කරන්න බැරි තැන ගෙදර ප්‍රශ්න දවසින් දවස වැඩිවුනා.සතුට සැනසීම නැතිවුනා.මටම තේරුණා ගෙදර ආර්ථිකේ විතරක් නෙමෙයි මට තිබුන පිළිගැනීම හැමදේම නැති වෙලා මං කුඩුකාරයෙක් විතරක් වුනා.

අන්තිමේ මගේ තාත්තා පැල්මඩුල්ලේ මිතුරු මිතුරෝ එක ගැන විස්තර හොයාගන ආවා.මම මිතුරු මිතුරෝ එකට ගියා.පළවැනි දවස් ටිකේ හිත හදාගන ඉන්න බැරි වුනා.ඒත් පහුවෙනකොට හැමදේම හරි ගියා.මං කුඩු වලින් බේරුනා.අවුරුද්දකින් පස්සේ මං සමාජගත වුනා.අපේ ගෙදර විශාල පිරිතක් කියලා දාන මාන දීලා පින්කම් ගොඩක් කළා.ජීවිතේ හදාගන්න ලැබීම ගැන මට තිබුනේ ලොකු සතුටක්.ඒත් මං ගෙදර එද්දී මගේ බිරිද වෙනස් වෙලා හිටියා.මට දැනුනා එයාට මං ඇරෙන්න තව පිරිමියෙක් ඉන්න බව.දවසේ වැඩි හරියක් එයා ෆේස් බුක් ඉන්න බව මම දැක්කා.මං එයාගෙන් ෆේස් බුක් එකේ පාස්වර්ඩ් එක ඉල්ලුවා.එයා දෙන්න බෑ කිව්වා.මම එයාට ගැහුවා.අන්තිමට පාස්වර්ඩ් එක දුන්නා.

මම එයාගේ ෆේස් බුක් ගිණුමේ චැට් හිස්ට්‍රි එක චෙක් කළා.මගේ ජීවිතේම එක චැට් බොක්ස් එකක් දැකලා හිරි වැටුනා,උපුල් කියල කෙනෙක් එක්ක මගේ ගෑණි ආදරේක පැටලිලා.එදා මං රුවනි එක්ක රණ්ඩු කළා.ඒ සම්බන්ධය නතර කරන්න කිව්වා.ඒ කිසිම දෙකට එයා කැමති වුනේ නැහැ.මං උපුල් ගේ ෆෝන් නම්බර් එක ඉල්ලගන කතා කළා.ඒ දෙන්න අතරේ සම්බන්ධතාවයක් තියෙන බව එයා පිළිගත්තා.දිගින් දිගටම මමයි රුවනි අතරේ ප්‍රශ්න ඇතිවුනා.අන්තිමේ එයා මාව දාලා එයාලගේ මහ ගෙදර ගියා.

මම ආයෙත් මිතුරු මිතුරෝ ආයතනයට ආවා.දැන් මට ඕනේ හැමදේම අමතක කරලා මගේ ජීවිතේ හදාගන්න.මම කුඩු ගැහුවා තමයි නමුත් එදා පිරිමින්ට සෙල්ලම් බඩුවක් වෙලා ඉදපු ගෑණිට මං ජීවිතේ දුන්නා.ගෙදරක් දුන්නා,ඒ හැමදේකම වටිනා කමක් එයාට නැතිවුනා.


කොහොම වුනත් එදා වගේම අදත් අපි දෙන්නටම වැරදුනා.මම කුඩු ගැහුවා.පාර වැරැද්ද ගත්තා.ඇත්තටම අද මොනවද අපට ඉතුරු.....ඔව් මොනවද ඇත්තටම ඉතුරු,සතුටද,සැනසුම ද,දුකද,වේදනාවද.ආපහු හැරෙමු බාරගන්න ජීවිතේ වගකීම්.පෙළගස්වන්න අකුරු.ඇද නොවෙන සිතුවිල්ල හරියටම ගලපන්න පුළුවන් වේවි.ඔබට මට අප හැමෝටම අනාගතය.

No comments:

Post a Comment