Saturday, October 4, 2014

හෝන් Language



මං කාමරේට එබිකං කරලා ඉකිමෂෝ කා,යමුද කියල අහපු ගමන් එයා “හයි හයි” කියල නැගිටලා ඔලුව නව නවා ඇදෙන් බැහැලා ලගින් ලගින් අඩි තිය තියා දුවගන වගේ ඇවිත් ඒ පිම්මට කාර් එකේ ඉස්සරහ ෂිට් එකේ වාඩිවෙලා ෂිට් බෙල්ට් එකත් දාලා පුසෙක් වගේ ඇස් පුංචි කරගන ඉස්සරහ බලාගන ඉන්නවා.මාත් හිමින් සැරේ දොරවල් වහලා ඇවිත් කාර් එකට නැගලා ස්ටාර්ට් කරලා හරෝගන පාරට ගන්නවා.ඉකෙගම් සං ඊයේ රෑ ඉස්සෙල්ලම ලංකාවට ආපු ගමන්,සතියක් ඉන්නවා,දැන් මේ කොලබ චුට්ටක් පෙන්නගෙන එන්න කියලා යන්නේ.

කාර් එක ගෙට් එකෙන් ගන්නකොටම චූන්පාන් වෑන් එකක් එයාගේ නලාව සද්දෙට ඇහෙන්න දාගන ඉබ්බෙක් වගේ හිමින් හිමින් එනවා. ඉකෙගම් සං පුංචි ඇස් ලොකු කරගන බයවෙලා වගේ ඒක දිහා බලාගන ඉදලා “ඒ මොකක්ද ඒ” කියලා මගෙන් ඇහුවා. “ඔය පාන් විකුනනවා” මං උත්තර දුන්නා. “ඉතිං එහෙම නලාව ගගහ යන්නේ මොකද ගෙවල් වල මිනිස්සුන්ට කරදර නැද්ද.එහෙම යන්න නීතියෙන් අවසර තියෙනවද” කියල ඉකෙගම් සං පුදුමෙන් වගේ අහනවා.

“මිනිස්සුත් ඔය එක එක විදියේ සද්ධ ඇහෙනවට කැමතිනේ.මෙහෙ නලාව පිබින්න තහනම් නෑ.නිදහස් රටක්නේ.” මං කිව්වා. එයා චුට්ටක් වෙලා මගේ දිහා බලන්ඉදලා කර බාගන්නවා.

තව ටික දුරක් යනකොට ස්කුල් වෑන් එකක් තාප්පයක් ගහපු ගෙයක් අයිනේ නවත්තගෙන කඩ කඩ එක දිගට තරහෙන් වගේ හෝන් එක ගහනවා.

“ඒ මොකද එයා හෝන් එක ගහන්නේ ” කියල ඉකෙගම් සං ආයෙත් පුදුම වෙලා.වෑන් එක පහු කරගන යනගමන් හැරි  හැරී බල බල අහනවා.

“ඒ අර ගෙදර ළමයා ඉස්කෝලේ ගෙනියන්න ඇවිත්.අද ඒ ළමය පරක්කුයි..ඩ්‍රයිවර් ඔය විදියට හෝන් එක ගගහා අහන්නේ මොකද අද ඉස්කෝලේ යන්නේ නැද්ද මට පරක්කු වෙනවා කියල ”

ඉකෙගම් සං මගේ දිහා ටිකක් වෙලා බලන් ඉදලා “හරී පුදුමයි”කියලා පාර දිහා බලාගනම කියනවා.

අපි තව ඉස්සරහට යනවා,පාරේ දකුණු පැත්තේ ලොකු ගේට්ටුවක් දාපු තට්ටු දෙකේ ගෙයක් ඉස්සරහ කාර් එකක් වහපු ගේට්ටුවෙන්ඇතුලවෙන්න වගේ මුණ තියාගන තරහෙන් වගේ තුන්පාරකට හෝන් එක හයියෙන් ගහනවා. “අර මොකද ” කියල ඉකෙගම් සං ආයෙම අහනවා. “ඔය මහත්තයා මොනවා හැරී අමතක කරලා ගිහින් මගක් දුරක් ගිහින් අපහු හැරිලා ඇවිත් එයා දාලා ගියපු දේ ඉක්මනට ගෙන්න,මට පරක්කු වෙනවා කියල නෝනට හෝන් එකෙන් කියනවා”

ඉකෙගම් සං වීදුරුව පාත් කරලා එබිගෙන ඒ ගේ දිහා බලාගන ඉන්නවා.එතකොටම ගෑනු කෙනෙක් බෑග් එකක් අරගන ගේට්ටුවෙන් එලියට ඇවිත් ඒක කාර් එකට දෙනවා.කාර් එක හරවගන ආයෙම යනවා,ගෑනු කෙනා පාර අයිනේ ඉදන් අත වනනවා.කාර් එක අයිත් පාරක් හෝන් එක ගහලා ඉක්මනින් යනවා.

“ඒ මොකක්ද ඒ කිව්වේ” ඉකෙගම් සං ආයෙමත් අහනවා. “ඒ කිව්වේ තෑන්ක්ස් ගිහිල්ල එන්නම් බායි” කියලා.එයට හරි පුදුමයි.

“මටනම් හිතාගන්නවත් බෑ..ඔයාට හෝන් භාෂාව තේරෙනවද” කියලා ඉකෙගම් සං මගෙන් අහනවා.මං ලාවට හිනා වෙලා “චුට්ටක් විතර” කියලා එයා දිහා බලන ගමන් කිව්වා.
“ඉතින් මෙහෙම හෝන් එකෙන් කතා කරනකොට ඒක අනිත් මිනිස්සුන්ට කරදර නැද්ද.” එයා අහනවා. “නෑ ඉතින් මේක නිදහස් රටනේ..අවුලක් නෑ”

හයිලෙවල් පාර දිගේ ඇවිත් පන්නිපිටිය පහුකරලා යනකොට විශාල බස් එකක් පිටිපස්සෙන් ඇවිත් කාර් එක උඩ විසිවෙන්න හෝන් එක ගහනවා. ඉකෙගම් සං හොදටම බය වෙලා “ඒ මොකද එයා මොනවද කියන්නේ”කියලා මගෙන් අහනවා. “ඉක්මනට යනවකෝ,බැරිනම් මට යන්න ඉඩ දෙනවකො ” කියල ඔය කියන්නේ.මං පිටිපස්ස නොබලාම එයාට උත්තර දුන්නා. “ඉතින් ඉස්සරහින් තව වාහනයක් යනවනේ ඉඩ නෑනේ..” ඉකෙගම් සං පුදුමයෙන් වගේ අහනවා. “ඔව්..ඒ වුනාට බස් ඩ්‍රයිවර් එහෙම කියනවා”  එහෙම කියලා මත හෝන් එක ගැහුවා. “ඇයි ඉතින් ඔයා හෝන් එක ගහන්නේ” “මං බස් ඩ්‍රයිවර් ගේ පණිවිඩේ අර ඉස්සරහින් යන වෑන් එකට කිව්වා ” කියලා හිනා වුනා.

මහරගම ටවුන් එකට මෙහායින් සරසවි එක ගාව වම් පැත්තට අයින් කරන බස් එකක් සින්දුවක් කියනවා වගේ කාලයක් හිටින්න සද්දෙට හෝන් එක ගහනවා. “ඒ මොකද ඒ කියන්නේ” අයෙමත් ඉකෙගම් සං අහනවා. “ඔය කතා කරන්නේ බස් එක එනකල් හෝල්ට් එකට වෙලා වටපිට බල බල ඉන්න මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ අවධානය කැඩිලානේ තියෙන්නේ මෙන්න මං ආවා කියල ඔය කියන්නේ.අර බලන්න මිනිස්සු බස් එකට නගින්න දුවගන එන හැටි” එතකොටම ඒ බස් එකට පස්සෙන් ආපු තව බස් එකක් තරහෙන් වගේ හෝන් එක ගහනවා. 

කෙගම් සං ඒ ගැන අහන්න කලින්ම මං උත්තර දුන්නා. “ඔය කියන්නේ එන්න එන්න මේකට නගින්න මේකේ ෂිට් තියෙනවා කියලා” ඉකෙගම් සං හෝන් සද්දත් එක්ක මං ඒවා තේරුම කරලා කියලා දෙන ඒවත් දිගටම අහගන ඉන්නවා.

බස් ගැන කතා කර කර යද්දී පාරේ වම් පැත්තේ මෝටර් සයිකලක් එක දිගට හෝන් එක ගහගන ඉස්සර කරගන එනවා. “අර බයික් එක මොකක්ද කියන්නේ දන්නවද...වම් පැත්තෙන් ඉස්සර කරන්න බෑනේ..ඒත් එයා එහෙම කරනවා.මං දන්නේ නැතුව වමට අයින් කලොත් එයාව හැප්පෙනවනේ.ඉතින් ඒ හින්දා ඔන්න මං වමෙන් එනවා කියලා එක දිගට කියන හැටි ඔය” අපි හෝන් සද්ද අහගන තව ඉස්සරහට යනවා.

පාරේ වම්පැත්තෙන් කොලබ දිහාට යන බස් එකක් කොලබ ඉදන් පාරේ දකුණු පැත්තෙන් මෙහාට එන බස් එකකට අමුතු ආදරේ හිතෙන විදියට හෝන් එකක් ගහනවා.කොලබ ඉදන් එන බස් එකක් පහු කරනකොටම අර විදියටම ආදරේ හිතෙන විදියට චුට්ටක් හෝන් එක ගහනවා. ඉකෙගම් සං හිනා පිරිච්ච මුණකින් “ඒ මොකක්ද කිව්වේ” කියලා කුතුහලයෙන් අහනවා. “ඒ යාළුවො දෙන්නෙක් හායි කියලා කිව්වේ” ඉකෙගම් සං දෑස් පුංචි කරගන හයියෙන් හිනා වෙනවා.

පාර මැදින් කහ ඉරක් තියෙන තැනක වම් පැත්තේ පිරිච්ච ඇගක් ඇලිලා පේන විදියට එතිච්ච කහ පාට සාරීඑකක් ඇදපු ගෑණු ළමයෙක් හුළගට විසිවෙන කොන්ඩේ අතින් තද කරගන ඇස් පුංචි කරන් වාහනයක් නතරකරලා පාර මාරු වෙන්න ඉඩ දෙනකල් බලන් ඉන්නවා.එයාව පහු කරගන යන රතුපාට සපෝර්ට් කාර් එකක් වනචර විදියට හෝන් එක ගහගන යනවා. “ඒ මොකක්ද එයා කිව්වේ” කියලා ඉකෙගම් සං කුතුහලයෙන් අහනවා. “ඒ කිව්වේ ඔයා හරි ලස්සනයි බබා කියලා” මං උත්තර දෙනවා. ඉකෙගම් සං ආයෙමත් හයියෙන් හිනාවෙනවා.

තව ටිකක් දුර යද්දී පාර අයිනේ රවුම් බෝඩ් එකක නළාවක් ඇදලා ඒක රතුපාටින් කපලා හිටවලා තියෙනවා.එතන පොලිස් මාමා කෙනෙක් හිටගන පාර දිහාට බෙල්ල දික් කරගන ඉන්නවා. “ඔතන උසාවියක් ,ඔය තැන වල හෝන් ගහන්න බෑ.එහෙම හෝන් ගහන යන අල්ලන්න තමයි ඔය බලන් ඉන්නේ” කියලා මං පැහැදිලි කරා.

ඉකෙගම් සං ආප්ප කාලා නෑ කියලා කියපු හින්දා මං ආප්ප තියෙන කඩයක් බලලා එතනට කාර් එකේ මුණ හිටින්න නතර කරලා හෝන් එක ගහනවා. ඉකෙගම් සංට පුදුමයි “මං මේ වේටර් කෙනෙක්ට කතා කරනවා” කියලා මං කිව්වා.එතකොටම වේටර් කෙනෙක් දුවගන ඇවිත් ඇරලා තිබුන ජනේලෙන් කාර් එකට එබුනා.මං ආප්ප ගෙන්න කියලා එයාට කිව්වා.

“හරි පුදුමයි ,ඔයාගේ රටේ මිනිස්සු හෝන් එකෙන් කතා කරන හැටි දැක්කම ජපානේ නම් කෙනෙක් හෝන් එක ගහන්නේ පාරේ තව කෙනෙක් මාර්ග නීති කඩ කරනවා දැක්කොත් විතරයි.කව්රුවත් මාර්ග නීති කඩන්නේ නැති නිසා හෝන් එකක සද්දයක් ඇහෙන්නේ කලාතුරකින්.මටනම් හෝන් සද්දයක් ඇහුන කාලයක් මතක නෑ මගේ හිතේ.මගේ කාර් එකේ හෝන් එකක් තියෙනවද කියල මට මතකවත් නෑ.” කියලා ඉකෙගම් සං අප්පයි ලුණුමිරිසුයි කකා කියනවා.තේ බිලා ඉවර වුනාට පස්සේ මම ආයෙම හෝන් එක ගහනවා.එතකොට වේටර් බිල් එකත් අරගන දුවගන එනවා. “දැක්කද මං හෝන් එකෙන් කිව්වේ බිල ගෙන්න කියලා” මං හිනා වෙනවා ඉකෙගම් සංනුත් හිනා වෙනවා.

අපි හෝන් සද්ද අහ අහා කොලබ වටේ ඇවිදලා ඔෆිස් ඇරෙන්න කලින් හවස තුනට විතර ආපහු එන්න හැරුනා.එහෙම එනකොට පාරේ වම් පැත්තට වෙන්න වාහන පේලියක් එනවා ඩබල් ලයිට් දාගන එකා පස්සේ එකා හුගක් සන්සුන් විදියට.ඒවායේ ඇතුලේ සුදු ඇදගත්තු මිනිස්සු ඉන්නවා.ඒ වාහන පේලිය ඉස්සරහින්ම මිනි පෙට්ටියක් පටවපු වහලේ මල්වඩම් පුරවපු කළුපාට හර්ස් එකක් හෙමින් ඉස්සරහට ඇදෙනවා.අපි ඒ කාර් පේලිය පහුකරගන යද්දී ඉකෙගම් සං ඒ දිහා බලන් ඉන්නවා.

“ඔය මිනියක් ගෙනියනවා කනත්තට”

“ඇයි ඉතින් එයාල විතරක් හෝන් එකෙන් කතා කරන්නේ නැත්තේ..” ඉකෙගම් සං අහනවා.

“මැරිච්ච කෙනාට කතා කරන්න බෑනේ ඒක නිසා වෙන්නැති”

ඒ කතාව අහලා ඉකෙගම් සං හයියෙන් හිනා වෙනවා.මටත් හිනා ගියත් මැරිච්ච කෙනාට අපිත් එක්ක හිනා වෙන්න බැරි හින්දා මං හිනාව තද කරගත්තා.


මහාචාර්ය්‍ය ගංගානාත් දිසානායකයන්ගේ ලිපියක් ඇසුරෙන්


No comments:

Post a Comment