Sunday, November 2, 2014

මල්ලියනේ …4

මගේ ගම මිනුවන්ගොඩ,අම්මා තාත්තා අක්ක ඉන්න පවුලක මම බාලයා.මිනුවන්ගොඩ තියෙන ප්‍රසිද්ධ පාසලක තමයි මම ඉගනගත්තේ.පුංචි කාලේ ඉදලම මට ඉගනගන්න ලොකු දක්ෂකමක්නම් තිබුනේ නෑ.නමුත් මම ඒ ලෙවල් හොදට පාස් වුනා.මම පන්තිය්නේ ඉදපු පිස්සු නටන කොල්ලෝ සෙට් එකේ කැපීපෙනෙන චරිතයක් වුනේ මං ගාව තිබුන හිතුවක්කාර ගති නිසා.කෙලින් තීරණ ගන්න ගතිය.යකාටවත් බය නැති ගතිය එදා ඉදලා මට තිබුනා හැමදාම මට හිතුනේ මම හරි කියලා,නමුත් මට ජීවිතේ හරියට වැරදුනා කියලා තේරෙනකොට පරක්කු වැඩියි.

මම මුලින්ම සිගරට් බොන්න පටන් ගත්තේ අට වසරේ ඉදලා.ඕ ලෙවල් කරන කාලේ වෙනකොට මත්පැන් වලට පුරුදු වෙලා ඉවරයි.අරක්කු බොන එක සිගරට් බොන එක කොල්ලෙක් විදියට කරන්නම ඕනේ දේවල් කියලා ඒ කාලේ මට හිතුනේ.සිගරට් එකක් කටේ ගහගන ඉන්නකොට මම වීරයෙක් කියලා මට හිතුනා.ඒත් එහෙම නෑ මොලයක් තියෙන කොල්ලෙක් සිගරට් බොන්නේ නෑ කියලා මම අද වෙද්දී දන්නවා.

ඕ ලෙවල් ඉවර වුනාට පස්සේ මම යාළුවො පිරිවරාගන ට්‍රිප් යන්න පටන් ගත්තා.සමහර ට්‍රිප් දවස් දෙක තුන ගතවෙන ඒවා.ට්‍රිප් යද්දී ෆන් ගන්න අපේ කොල්ලෝ ගංජා ගැහුවා,මාත් ගංජා බිව්වා.ජීවිතේ තිබුනේ සතුට සැනසිල්ල විතරයි.ගංජා ගහලා නින්දත් නොනින්දත් අතර ගානට මත්වෙලා කළුවරේ ඉන්න මම ආස කළා,ඒක අමුතුම ෆිලින් එකක්.මාස හය හතක්ම පාසල් යන අතරතුර මම හොදට ගංජා ගැහුවා.

ඕ ලෙවල් කලාට පස්සේ මට තිබුන එකම ආසාව වුනේ ජොබ් එකක් කරන එක.අන්තිමේ කොල්ලුපිටියේ ආයතනයක ජොබ් එකක් හොයාගන්න මට පුළුවන් වුනා.රස්සාව කරන්න පටන් ගත්තට පස්සේ අපිට ගම්පහ පැත්තේ පදිංචියට යන්න වුනා.ඒ කාලේ කෝච්චියෙන් උදේ හවා කොලබ එන්න යන්න මම පුරුදු වුනා.බස් එකේ එනකොට කොලබ ට්‍රැෆික් එකට අහුවෙන නිසා  කෝච්චියේ ගමන මට පහසුවක් වුනා.කෝච්චියේ යද්දී මට යාලුවෙක් සෙට් වුනා.එයාගේ නම සිතුම් රාජපක්ෂ.සිතුම් හිටියෙත් ගම්පහමයි.

සිතුම් හොද කොල්ලෙක් මාත් එක්ක හැම ගමනකටම සිතුම් එකතු වුනා.සිතුම් මගේ හොදම යාළුවා වුනේ මටත් නොදනිම.යාළුවා විදියට මට දැනුනා සිතුම් මොකක් හරි දේකට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා.මම ඒ ගැන දවසක් උගෙන් ඇහුවා.එතකොට මට එයා කිව්වා කුඩු ගහන බව.මනුස්සයෙක් විදියට සිතුම්ගේ හොදම යාළුවා විදියට එයා කුඩු ගහනවා කියලා කිව්වට පස්සේ එයාගෙන් අයින් වෙන්න යාළුකම නැති කරලා දාන්න මට පුළුවන්කමක් තිබුනේ නෑ.

මම ගංජා ගැහුවා සිතුම් කුඩු ගැහුවා.සමහරදාට සති අන්තයේ සිතුම් අපේ ගෙදර ඇවිත් නැවතිලා සදුදා උදේ මං එක්කම වැඩට ගියා.මගේ කාමරේට දොරක් තිබුනේ ගෙයින් පිටතට නිසා මං මොනවද කරන්නේ කියන එක ගෙදර අයට ප්‍රශ්නයක් වුනේ නෑ.

ඇත්තටම කියනවනම් කුඩුවල ආනිශංස ගැන මට ලොකු දැනීමක් තිබුනේ නෑ.අපේ ගෙදර ආව හැමදාකම සිතුම් කුඩු ගැහුවා මම බලන් හිටියා.ඒ හැම වෙලාවකම කුඩු ගහන්න මටත් ආස හිතුනා.එදා සිකුරාදා දවසක් පුරුදු විදියට සිතුම් අපේ ගෙදර ආවා.එදත් කුඩු පැකට් හතරක් විතර ගෙනාවා.මම සිතුමට කිව්වා මට කුඩු ගහන්න ආසයි කියලා.ඌ දුන්නේ නෑ.කුඩු ගහන්න එපා,මේක උබට හරියන්නේ නෑ කිව්වා,හතුරෙකුටවත් දෙන්න හොද දෙයක් නෙමෙයි කුඩු කියන්නේ කියල කිව්වා.ඒත් ඒ වචන වලට ඇහුම්කන් දෙන්න මට වුවමනාවක් උනේ නෑ.මගේ බලකිරීමෙන් බේරෙන්න බැරි තැන සිතුම් මට කුඩු පැකට් එකක් දුන්නා.මුල්ම දවසේ මට කිසිම ෆීලින් එකක් දැනුනේ නෑ.පලවෙනි ෂොට් එකෙන් පස්සේ මම කාලයක් කුඩු නොගහ හිටියා.ඒත් මගේ ආත්ම ශක්තිය කුඩුවෙන්න ගත්තේ බලන් ඉන්දදීම වගේ.


එතකොට මට සල්ලි වලින් අඩුවක් තිබුනේ නෑ.මම මුළු පඩියම යට කලේ කුඩු ගහන්න.මුලින්ම දවසට එකක් ගහපු කුඩු පහු කාලෙක දවසට තුන්හතර වතාවක් වුවමනා වුනා.සිතුම්ලාගේ අයියගේ ගේ තිබුනේ රාජගිරියේ.අපි සතිඅන්තේ එහෙ ගතකරන්න පුරුදු වුනා.මගේ කුඩු ගැහිල්ල ගෙදරට හොරෙන් කරගන යන්න මම හැම වෙලාවකම වැඩ කළා.ඒත් දවසින් දවස වැඩිවුණා කුඩු අවශ්‍යතාවය එක්ක අතේ සතේ නැතිවෙන්න ගත වුනේ ටික දවසයි.සතේ නැතුව ගෙවුන කාලේදී මට මුණගැහුනා යාලුවෙක්.එයාගේ නම චන්දන.චන්දන මට මුණගැහෙනකොට එයා හොදටම කුඩු වලට ඇබ්බැහි වෙලා හිටියේ.අපි දෙන්නා එකට කුඩු ගැහුවා.ඔය කාලේදී චන්දන මට කතා කළා කොල්ලෙක්කට සෙට් වෙන්න.

අපි කොල්ල කන්න ප්ලාන් කලේ ෂෙඩ් එකක්.අපි හිටපු පලාතෙන් පිට තියෙන ෂෙඩ් එකක් අපි තෝරාගත්තා.ඒ ෂෙඩ් එකට යන එන සෙනග අඩුවෙන වෙලාවක් ගැන අපි අවධානයෙන් හිටියා.උදේ,දවල්,රෑ වගේ හැම වෙලාවේම අපි ෂෙඩ් එකට ගිහින් සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙලාව හෙව්වා.ඉන්පස්සේ අපිට තේරුණා රෑ අට අටහමාර වෙනකොට ෂෙඩ් එකට එන වාහන අඩුවෙන බව.

හොද වෙලාවක් බලලා අපි වැඩේට බැස්සා.තෙල් ගහන්න හිටිය එකාගේ බෙල්ලට පිහිය තියලා මම කිව්වා අතේ තියෙන සල්ලි දීලා පැත්තකට වෙයන් නැත්නම් මැරුම්කන්න වෙන්නේ කියලා.චන්දන බයික් එකේ හිටියා.අපි ෆුල් ෆේස් හෙල්මට් දාලා හිටියේ.උන්ට අපිව අදුරගන්න බෑ.එදා දවසේ ආදායම උන් කුට්ටිය පිටින් අපට දුන්නා.ලක්ෂ එකහමාරක් විතර එතන තිබුනා.

එදා රෑ කුඩු පැකට් දහයක් විතර ගහලා කෝච්චියෙන් බදුලු ගියා.ෂෙඩ් එකේ මංකොල්ලයට පොලිසිය මුළු පළාතේම කුඩු ගහන කොල්ලෝ පස්සේ වැටෙන බව අපි දැනගන හිටියේ.බදුල්ල පැත්තේ කුඩු ගගහා අපි ඇවිද්දා.අරමුණක් තිබුනේ නෑ.දවස් හය යනකොට අතේ තිබුන සල්ලි සේරම ඉවරවුනා.අතේ සතේ නැතුව අපි ආයේ කොලබ ආවා.ඒ ඇවිල්ලත් කලේ කුඩු ගහන්න සල්ලි හොයන එක.

දවසක් චන්දනව පොලිසියෙන් අල්ලගන තිබුන ෂෙඩ් එකේ මන්කොල්ලෙට සැකපිට.ඉන්පස්සේ ඉතින් පොලිසියට මාව අල්ලගන්න අමාරු වුනේ නෑ.පොලිසියෙන් අපිට හොදටම ගැහුවා.ඉතිහාසගත නොකරපු හොරකමක් උනත් ඒ ගැහිල්ලට එලියට එනවා.
මගේ යාලුවටයි මටයි අන්තිමට මහර හිරගෙදර හිරබත් කන්න වුනා.මාස අටක් විතර හිරබත් කන්න වුනා.මම හිරේ යනකොට මගේ ගෙදර අය විශාල ඇදවැටීමකට ලක්වුනබව මම දැනගන හිටියා,ඒත් මට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නැහැ.

හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ මට ඕනේ වුනා හොද මිනිහෙක් වෙන්න.ඒ නිසාම මම තීරණේ කළා කුඩු නවත්තන්න.ලේසි වුනේ නෑ.මම කොහොමහරි කුඩු සික් එක කදාගත්තා.ඒ වෙනකොට මගේ රස්සාව නැතිවෙලා තිබුනේ.ඒ නිසා විදේශගත වෙලාහරි හොදින් ජීවත් වෙන ඕනේ කියලා මං හිතුවා.මගේ ගෙදරිනුත් ඒකට කැමති වුනා.මට රට යන්න වුවමනා හැමදේම ගෙදරින් ලෑස්ති කරලා දුන්නා.

ඔය අතරේ මට මිනුවන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකේදී ලස්සන ගෑනු ළමයෙක් මුණගැහුනා.ගෙවිලා ගියේ විනාඩි ගානයි එයා මට මුණගැහිලා එයා බස් එකෙන් බැස්සේ එයාගේ දුරකථන අංකයත් මට දීලා.මුලින්ම එයා මට හොද යාලුවෙක් වෙලා හිටියා.මගේ හැම ප්‍රශ්නයක්ම එයා එක්ක කතා කරන්න පුළුවන්කම තිබුනා,.අපි හැමදේම කතා කළා.නමුත් මොන හේතුවක් නිසාවත් මම කුඩු ගහන බවනම් එයාට කිව්වේ නැහැ.මට එයා හම්බුවෙනකොට එයා ඉස්කෝලේ යන කෙල්ලෙක්.මුලින්ම අපි අතරේ තිබුන හිතවත්කම පස්සේ කාලෙකදී ආදරයක් බවට පෙරලුනා.ඒ ආදර සම්බන්දෙ ඇතිවුන මුල්ම කාලේ මට දෝහා කටාර් වලට යන්න ලැබුනා.දෝහා වල මට කරන්න තිබුනේ ඉලෙක්ටි‍්‍රකල් පැත්තේ ජොබ් එකක්.

මං නැවතිලා හිටියේ හතරදෙනෙක් ඉන්න කාමරේක.දෝහා වල අරක්කු බොන්නත් ලයිෂන් තියෙන්න ඕනේ.ඒ වගේම අරක්කු හරිම ගණන්.ඒ නිසා බංගලාදේශ් කොල්ලෝ සෙට් එකක් පෙරන කසිප්පු අරගන අපි බොන්න පුරුදු වුනා.ඉන්දියන්,නේපාල්,ශ්‍රීලංකා,පිලිපින් වගේ හැමරටකම කොල්ලෝ අපේ නේවාසිකාගාරයේ නැවතිලා හිටියා.එක කාමරේ හතරදෙනා ගානේ හිටියා.

හැමදාම බංගලාදේශ කොල්ලන්ගෙන් කසිප්පු බිබී ඉදපු මම අපේ කාමරේම කසිප්පු පෙරාගන්න පුරුදු වුනා.ඒ වෙනුවට මං හිටපු කාමරේ ගෑස් ලිපඋඩපොඩි බැරල් එකක් තියලා සීනි කිලෝ පහක්,කටුකම්බි,බෙලෙක් කෑලි,ඊස්ට් ඇසිඩ් වර්ග පලතුරු දාලා මම කසිප්පු පෙරන්න පටන් ගත්තා.කාමරේ හිටපු අනිත් කොල්ලොත් කසිප්පු වලට කැමති නිසා මම කරන වැඩේට කව්රුවත් අකමැති වුනේ නෑ.මම හැම සතියෙම කසිප්පු පෙරුවා.සතියට ලීටර විසිපහ ගානේ පෙරුවා.ඒ වගේම එක බෝතලයක් කටාර් රියාල් තිස්පහ ගානේ විකිණුවා.
මම හිටියේ දෝහා වල සනෙයියා නගරේ.මගේ කසිප්පු වලට විවිද රටවල කොල්ලන්ගෙන් ඉල්ලුම වැඩි වුනා,සමහරදාට පලතුරු දාලා තවත් දවසක පරිප්පු දාලා මම කසිප්පු පෙරුවා.කසිප්පු පෙරන්න මම වැඩිපුරම දැම්මේ හිස් සැමන් ටින්.

ඔය විදියට කසිප්පු ජයටම පෙරන කාලේ මට හම්බුනා ගංජා විකුණන ලංකාවේ කොල්ලෙක්.ඌ ගංජා ගෙනාවේ කිලෝ ගානින්.එදා ඉදන් මටත් හිතුන ගංජා විකුනන්න.මුලින්ම ගංජා ග්‍රාම 200 ක් ගත්තා.අරගන ග්රෑම් පනහේ බන්ඩල් හතරක් ගහලා විකිණුවා.බදු ඉක්මනට ගිය නිසා ගංජා කිලෝ ගානින් අරගන විකුනන්න මට හිතුනා.ලංකාවේ අපේ කොල්ලෙක්ගෙන් ගත්ත ගංජා මම පිටරට කොල්ලන්ට විකිණුවා.දවසින් දවස මට සල්ලි උතුරන්න ගත්තා.

මේ හැමදේම කලේ ඒ රටේ පොලිසියේ ඇස් වහලා.මාත් එක්ක ගංජා බිස්නස් එක කරන්න සමන් කියලා යාලුවෙකුත් සෙට් වෙලා හිටියා.දවසක් සමන්ට ගංජා ඕඩරයක් ආවා.හැන්දෑවේ ගංජා පාර්සලෙත් අරගන සමන් එලියට බහිනකොට මම කිව්වා.මචන් මේ වෙලාවේ යන්න එපා පොලිසියට මාට්ටු වෙයි කියලා.එතකොට සමන් කිව්වා,ගෙදර හිටියොත් නිකම්මයි මේක දුන්නොත් කීයක් හරි අතට එනවනේ ඒ නිසා මම මේක ඉක්මනට දීලා එන්නම් කියලා.
ගංජා ඕඩර් එක දෙන්න ගිය සමන් හවස් වෙනකල් ගෙදර ආවේ නැහැ.හැන්දෑවේ අපි සමන් ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනා කටාර් වල අලටියා කියන ප්‍රදේශයේදී සමන්ව කටාර් පොලිසියෙන් අල්ලගන කියලා.සමන් ගංජා අරන් යන බව එදා ඔත්තුව දීලා තිබුනේ ලංකාවේම කෙනෙක්.

අත්අඩංගුවට ගත්ත සමන්ව ඒ රටේ උසාවි දාලා බරපතල වැඩ ඇතිව අවුරුදු පහළොවකට හිරේට නියම කළා.එදා හිරේ යන දවසේ සමන් සෑහෙන්න ඇඩුවා.මගින් මගටම අපට කතා කරලා කිව්වා ගෙදර අයට උදව් කරන්න කියලා.අදත් සමන් ඒ රටේ හිරබත් කනවා.එයාගේ ගෙදර අය මේ රටේ නොවිදිනා දුක විදිනවා.දෝහා වල ඉන්නතාක් අපි සල්ලි එකතු කරලා සමන්ගේ ගෙදරට ඇරියා.නමුත් මම ඒ රටෙන් ආවට පස්සේ ඒ හැමදේම නැවතුනා.දැන් ඒ රටේ සමන්ට මැරෙන්නත් ජීවත්වෙන්නත් ඉන්නේ සමන්ම විතරයි.

සමන් හිරේ ගියාට පස්සේ මටත් එහෙ ඉන්න හිතුනේ නැහැ.පොලිසියේ ඉව මගේ පැත්තත් හැරිලා කියලා මට තේරුනා.මම වැඩ කරන තැනට සනීප නෑ ලංකාවට යන්න ඕනේ කියලා ලංකාවට ආවා.

කොහොම උනත් මම ලංකාවට ආවේ අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගන.ලංකාවට ආව මුල්ම දවසේ මම ගියේ මගේ කෙල්ලව බලන්න.ඒ වෙනකොට එයා කොලබ විශ්ව විද්‍යාලයට ඇතුල්වෙලා තිබුනා.එයාගේ උගත්කම ගැන මට ආඩම්බරයක් තිබුනේ.මම එයාව මගේ ගෙදරට පවා අදුන්නලා දුන්නා.මම එයාට ආදරේ කළා වගේම එයත් මට ආදරේ කළා.ලංකාවට ආවට පස්සේ මට මගේ කෙල්ල සුජානි එක්ක ජීවත් වෙනවා ඇරෙන්න වෙන සතුටක් තිබුනේ නෑ.

දවසක් එයයි මමයි නිදහසේ ඉන්න හිතාගන හෝටල් කාමරේකට ගියා.එදා අපි දෙන්න අතරේ ඇතිවුන බැදීම කොයිතරම්ද කිව්වොත් සුජානි මං අතින් ගැහැනියක් වුනා.ඒ ගැන එයාට දුකක් තිබුනේ නෑ.එය හිටියේ සතුටින්.ඒ කාලේ ජීවිතේ ගෙවිලා ගියේ අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන්ම විතරයි.

ඒත් කාලයක් යනකොට මට නරුම යාලුවන්ගේ ආශ්‍රය ලැබුනා.ආයෙත් මම කුඩු වලට වැටුනා.රට ඉදලා එනකොට පිරිලා මත්වෙලා තිබුන මුහුණ කෙට්ටුවෙලා හකු බහින්න වැඩි කාලයක් ගියේ නැහැ.කන්න බොන්න බෑ හරියට වැඩක් කරගන්න බෑ,කොටින්ම කිව්වොත් මම ඇවිදින මළමිනියක් බවට පත්වුණා.

දවසින් දවස මගේ පෙනුම වෙනස් වෙනකොට මගේ අම්මා,සුජානි මාව සැක කළා.සුජානි මගෙන් ඇහුවා මොනවහරි මත්ද්‍රව්‍යක් ගන්නවද කියලා.මුලදී මුලදී මම එයාට නෑ කිව්වා මිසක් ඔව් කිව්වේ නෑ,ඒත් එයා දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කළා.මම එයාට ඇත්තම කිව්වා.මම හිතුවා ආදරේ වෙනුවෙන් එයා මම කුඩු ගහන එක ඉවසයි කියලා.මේ ප්‍රශ්න වලින් මාව මුදවගනී කියලා.මම හැමදේම එයාට කිව්වා,නමුත් මම කුඩු ගහන බව එයාට කිව්වම එයා වෙනස් වුන තරම තාම මට හිතාගන්න බෑ.ආදරේ කල කෙල්ලෙක් විදියට ඒ තරම් තද තීරණයක්‌ එයාට ගන්න පුළුවන් වුනේ කොහොමද මම දන්නේ නෑ.එයා මට කිව්වා කුඩුකාරයෙක්  බදින්න මම කැමති නෑ ඒ නිසා එයාව මුණගැහෙන්න එන්න එපා කියලා.

අපි හැමදාම හමුවුන තැන මාව තනිකරලා දාලා එයා යන්න ගියා,මම එයාට කෝල් කළා එයාගෙන් අයින් වෙන්න බෑ කියලා ඒත් ඒ කිසිම දෙකින් එයාව නවත්තන්න පුළුවන් වුනේ නෑ.

මාව කුඩු ගහන එකෙන් නතර කරන්න මගේ අම්මා මාව රටේම තියෙන රෝහල්වලට අරගන ගියා.සෙත් ශාන්ති කළා.ඒත් මම කුඩු ගැහුවා.අන්තිමට දවසක් පාන්දර පහට විතර මගේ තාත්තා මගේ කාමරේ දොරට ගහලා කිව්වා පොලිසියෙන් ඇවිත් කටඋත්තරයක් ගන්න කියලා.ඒ වෙනකොටත් මට පොඩි පොඩි කේස් තිබුන නිසා මම පොලිසියට යන්න එලියට ආවා.

නමුත් හතර පස් දෙනෙක් වටකරගන මාව අන්තිමට අරගන ගියේ පොලිසියට නෙමෙයි කුරුවිට මිතුරු මිතුරෝ ආයතනයට.දැන් මට මේ ජීවිතේ හදාගන්න ඕනේ.මට පොඩ්ඩක්වත් ආදරය නොකළ සුජානිට මගේ හදාගත්ත ජීවිතේ තියෙන පිළිවෙල පෙන්නන්න ඕනේ.මගේ අම්මගේ තාත්තගේ ආදරේ මට ආශිර්වාදයක් වුන බව හැම කෙනාටම කියන්න ඕනේ.මගේ හිත දුර්වල නොවී කොයිතරම් දුරක් යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
වැස්සට ආසකරන සමහරු වැස්සේ තෙමෙන්න බයයි වගේ ජීවිතේට ආස කරන සමහරු ජීවිතේට මුහුණදෙන්න කැමති නෑ.කැමැත්ත අකමැත්ත මැද පෙලගැහෙන ජීවිතේදී වැස්සට තෙමුනොත් ස්වභාවධර්මයාට ආදරේ කරන්න පුළුවන් ජීවිතයට මුහුණ දුන්නොත් ලෝකයම දිනන්න පුළුවන්.

No comments:

Post a Comment