Monday, October 6, 2014

රස්තියාදුකාරයන්ගේ ධර්මය






රස්තා දහම ගැන ටිකක් හරි දන්නා අයට එක පාරටම මල පනියි මගේ මාතෘකාව දැකලා.නමුත් ඇත්ත එකයි..ගොඩක් කස්ටිය හිතන්නේ අන්න එහෙම...වත්මන් සමාජයේ රස්තාෆාරියන් වරුන්ගේ ධර්මය ගැන නිසි අවබෝධයකින් තොරවීම එය හුදු ගංජාකාරයන්ගේ රස්තියාදුකාර දහමක් ලෙස වත්මන් තරුණයන් හදුනාගන තිබීම මාද පුද්ගලිකව හෙලා දකිමි.මක් නිසාද කිසිම දෙයක් ගැන නිසි ආකාරව නොදැන විනිශ්චය කිරීම ඉතාමත් බරපතල වැරැද්දක බැවිනි.

ප්‍රථමයෙන් මා සෙවූයේ එහි ආරම්භය හා ආරම්භ වීමට හේතුන්ය....
එහිදී මා සොයා ගත්තේ ඉතියෝපියාව කියන වචනයයි.......
නමුත් ඒ වත්මන් කාන්තාරගත ඉතියෝපියාව නොව....
ඉතියෝපියාව යන වචනයට මිට අවුරුදු පනහකට හැටකට පෙර තිබුනේ වර්තමාන තේරුම නොවේ.ඉන් අදහස් කෙරුනේ ප්‍රෞඩ අභිමානවත් රටකි.සැබවින්ම ඉතියෝපියාව එකල එසේ විය.ඒ අනුව එකල ජැමෙයිකාව ඇතුළු බොහෝ රටවල පැතිර ගිය රස්තාෆාරියන් නම් දර්ශනය අනුව කළු ජාතිකයන්ගේ පොරොන්දු දේශය වශයෙන් සැලකුනේ ඉතියෝපියාවයි. එනම් වහලුන් ලෙස ඇමරිකාව ආදී රටවලට ගෙන ගිය කළු ජනතාව යලි එක්සත් වී ඉතියෝපියාවට පැමිණ යලිත් ස්වකිය සංස්කෘතියට ශිෂ්ටාචාරයට අනුව නිදහස් දිවියක් ආරම්භ කල යුතු බව මෙම දහමින් ප්‍රධාන වශයෙන් කියවිණි.

සුද්දන් අප්‍රිකාවට පැමිණියේ අතකින් තුවක්කුවත් අනිත් අතින් බයිබලයත් රැගෙන බවට කතාවක් ඇත.එම අධිරාජ්‍යවාදී සමයේ කළු අප්‍රිකානුවන් ක්‍රිස්තියානි ආගමට හැරුණද එමගින් ස්වකිය ජීවිතයට විමුක්තිය ලබාදෙනු වෙනුවට එමගින් කරනු ලබන්නේ තමන්ගේ වහල් බැමි තව දුරටත් හිර කිරීම බව කල්යාමේදී ඔවුහු තේරුම ගත්හ.කැෂියස් ක්ලේ මොහොමඩ් අලි වීමට සිතුවේ ඒ නිසාය.එනම් මෙම සුදු ක්‍රිස්තියානිය ද තමන් මර්දනය කරන ක්‍රමයේ කොටසක් බව වැටහීම් නිසා බොහෝ කළු ඇමරිකානුවෝ ඉන් ගැලවීමට මුස්ලින් ආගමට ගියහ.

එහෙත් රස්තා දහම එයට වඩා නිර්මාණශීලි විය.එය එක් අතකට රුසියානුවන් බටහිර යුරෝපිය අධිපත්‍යට යට නොවී ක්‍රිස්තියානිය රුසියානුවන්ගේ කරගැනීමට සමානව අප්‍රිකානුවන් උදෙසා ක්‍රිස්තියානි ධර්මයක් නිර්මාණය කරගැනීමට දරු උත්සහයක් ලෙසද සැලකිය හැක.සුද්දන්ට පමණක් නොව කල්ලන්ටත් ප්‍රේම කරන දෙවියන් වහන්සේ කෙනෙකු නිර්මාණය කරගැනීම යයිද කිව හැක.රස්තා දහමට අනුව ඉතියෝපියාව පොරොන්දු දේශය වුවා පමණක් නොව එහි අධිරාජ්‍යයා වූ හේල් සෙලාසි ගැලවුම්කාරයානන් වහන්සේ වශයෙන්ද සැලකින.තත්වය බැරෑරුම් බව සුද්දන්ට ඒත්තු ගියහ.කරන්නට අන් දෙයක් නොමැති තැන.අධිරාජ්‍යවාදී බලවේග විසින් ඉතියෝපියාව ඉතියෝපියාවක්‌ බවට පත් කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කෙරිණි.ඒ හරිත විප්ලවයේ නාමයෙනි.අද ඉතියෝපියාව පැරණි සාරවත් ඉතියෝපියාව නොව කාන්තාරයකි.


කළු අප්‍රිකානුවන් ආර්ථික හා සංස්කෘතික වශයෙන් වහල් භාවයෙන් මුදාගැනීම අරමුණු කරගත් රස්තා දහමට 1967 දී හෙවත් 1970 දශකයේ දී ලැබුණු ලොකුම හයිය බොබ් මාලේ ය.අනෙක් අතට බොබ් මාලේගේ හයිය වුයේද රස්තා දහමය.

බොබ් මාලේගේ ස්වකිය අධ්‍යාත්මය චින්තනය සකස් කරගත්තේ රස්තා ධර්මය ඇසුරෙනි.ක්‍රිස්තියනියෙන් බිදී ගිය ආගමක් ලෙස මෙය හැදින්වුවද එය ආගමකට වඩා සමීප වන්නේ ජීවන රටාවකටය.එයද වනාහි එක්තරා විදියක න්‍යායක් ලෙස මම දකිමි.සුදු ශිෂ්ටාචාරයේ ව්‍යාජත්වය පෙන්විය හැකි එක් ක්‍රමයක් වන්නේ ඔවුන් බොරුවට අදහන ක්‍රිස්තියානිය වෙනුවට සැබෑ ක්‍රිස්තු භක්තිකයෙකු බවට පත්වීමයි.සැබවින්ම ක්‍රිස්තියානි සැබෑ සාරධර්ම ගත්විට අප්‍රිකානු රස්තාෆාරියන් වරුන් සුදු ජාතිකයන්ට වඩා දෙවියන් වහන්සේට සමීප වෙති.රස්තා ධර්මය පදනම වුයේ ඒ ධර්මය මතයි.මාක්ස් ගාවේ විසින් පතුරවා හරින ලද රස්තා ෆාරියන් ආගම අනුව ඉතියෝපියාව රස්තා වරුන්ගේ පොරොන්දු දේශය වශයෙන් සලකින.දෙවියන් වහන්සේගේ නාමයේ සුද්දන් කරන කුරිරු කම් මැඩලීමට ගත හැකි එක් ක්‍රමයක් වන්නේ සුද්දන්ට වඩා දෙවියන් වහන්සේ වෙත සමීප වීමම නොවේද...?මේ අනුව රස්තාෆාරියන් ව්‍යාපාරය සුදු පදනම දෙදරවන හා කළු අප්‍රිකානුවන් එක්ව බැද තබන ඇදහීමක් බවට පත්විය.

පසුව මා සොයන්නට ගත්තේ මෙහි ඇති වත් පිළිවෙත හා නීති පිළිබදවය.....

ප්‍රධාන වශයෙන් රස්තා දහම බයිබලය මත පදනම වේ.ඔවුන්ගේද පුජනිය ග්‍රන්ථය බයිබලයම විය.බයිබලයෙන් ඔවුන්ට මග පෙන්විය.ඊට අමතරව ඉතා සුළු වෙනස්කම් කීපයක් රස්තාවරුනගේ දැකිය හැකිය.රස්තලාගේ ජීවිතයේ ගංජා ඉරීම අනිවාර්යය අංගයකි.එමගින් දෙවියන් හා සමීප විය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

දෙවියන් පවා සිදුකරන එම දුම් ඉරීම දෙවියන්ගෙන් ලැබුණු වරමක් ලෙස ඔවුහු හදුන්වති.වත්මන් සමාජයේ ඇති ප්‍රකට කියමනක් වන Beer made Man,Weed made God කියමනද ඇතිවන්නට ඇත්තේ මෙම දහම පදනම කරගන වෙන්නට ඇත.

නිර්මාංශ ආහාරයේ නියැලෙන රස්තෆාරියන් වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලුදු කරගැනීමට කිසිදු විටෙක සුදානම් නොවිය.එහෙයින් ශල්‍යකර්ම හා කිසිම හේතුවක් මත ශරීරාංග කැපීම අනුමත නොකල්ය.කොණ්ඩා කැපුවේද නැත.ඇත්තෙන්ම කිවහොත් එම කැරලි ගැසුණු කොණ්ඩය මගින් ඔවුන් ඉහල පිළිගැනීමකට ලක් විය.

තවද රස්තලාගේ ප්‍රබල කියමනක් වන්නේ මෙහි හතුරෙක් නොමැත යන්නයි.එනම් ඔවුන් වෛර කිරීමට නොදැනීමයි.මෙයද මා පුද්ගලිකව ඉතාමත් ගරු කරන රස්තා න්‍යායකි.නියම රස්තා කෙනෙකු කිසිවෙකුට කිසිම හේතුවක් මත වෛර නොබදී.රස්තෆාරියන් කෙනෙකු වන බොබ් මාලේ නිසා ඒ ජීවන රටාව ලොව පුරා බොහෝ සෙයින් පැතිර ඇත.එනම් ආදරයට ආදර කරන්න නොව එය නියමාකාරයෙන් මෙසේ විය යුතුය.එනම් වෛරයට ආදරය කරන්න යනුයි.

ONE LOVE ONE HEART”…“එකම හදවතින් එකම ආදරයක්



Saturday, October 4, 2014

හෝන් Language



මං කාමරේට එබිකං කරලා ඉකිමෂෝ කා,යමුද කියල අහපු ගමන් එයා “හයි හයි” කියල නැගිටලා ඔලුව නව නවා ඇදෙන් බැහැලා ලගින් ලගින් අඩි තිය තියා දුවගන වගේ ඇවිත් ඒ පිම්මට කාර් එකේ ඉස්සරහ ෂිට් එකේ වාඩිවෙලා ෂිට් බෙල්ට් එකත් දාලා පුසෙක් වගේ ඇස් පුංචි කරගන ඉස්සරහ බලාගන ඉන්නවා.මාත් හිමින් සැරේ දොරවල් වහලා ඇවිත් කාර් එකට නැගලා ස්ටාර්ට් කරලා හරෝගන පාරට ගන්නවා.ඉකෙගම් සං ඊයේ රෑ ඉස්සෙල්ලම ලංකාවට ආපු ගමන්,සතියක් ඉන්නවා,දැන් මේ කොලබ චුට්ටක් පෙන්නගෙන එන්න කියලා යන්නේ.

කාර් එක ගෙට් එකෙන් ගන්නකොටම චූන්පාන් වෑන් එකක් එයාගේ නලාව සද්දෙට ඇහෙන්න දාගන ඉබ්බෙක් වගේ හිමින් හිමින් එනවා. ඉකෙගම් සං පුංචි ඇස් ලොකු කරගන බයවෙලා වගේ ඒක දිහා බලාගන ඉදලා “ඒ මොකක්ද ඒ” කියලා මගෙන් ඇහුවා. “ඔය පාන් විකුනනවා” මං උත්තර දුන්නා. “ඉතිං එහෙම නලාව ගගහ යන්නේ මොකද ගෙවල් වල මිනිස්සුන්ට කරදර නැද්ද.එහෙම යන්න නීතියෙන් අවසර තියෙනවද” කියල ඉකෙගම් සං පුදුමෙන් වගේ අහනවා.

“මිනිස්සුත් ඔය එක එක විදියේ සද්ධ ඇහෙනවට කැමතිනේ.මෙහෙ නලාව පිබින්න තහනම් නෑ.නිදහස් රටක්නේ.” මං කිව්වා. එයා චුට්ටක් වෙලා මගේ දිහා බලන්ඉදලා කර බාගන්නවා.

තව ටික දුරක් යනකොට ස්කුල් වෑන් එකක් තාප්පයක් ගහපු ගෙයක් අයිනේ නවත්තගෙන කඩ කඩ එක දිගට තරහෙන් වගේ හෝන් එක ගහනවා.

“ඒ මොකද එයා හෝන් එක ගහන්නේ ” කියල ඉකෙගම් සං ආයෙත් පුදුම වෙලා.වෑන් එක පහු කරගන යනගමන් හැරි  හැරී බල බල අහනවා.

“ඒ අර ගෙදර ළමයා ඉස්කෝලේ ගෙනියන්න ඇවිත්.අද ඒ ළමය පරක්කුයි..ඩ්‍රයිවර් ඔය විදියට හෝන් එක ගගහා අහන්නේ මොකද අද ඉස්කෝලේ යන්නේ නැද්ද මට පරක්කු වෙනවා කියල ”

ඉකෙගම් සං මගේ දිහා ටිකක් වෙලා බලන් ඉදලා “හරී පුදුමයි”කියලා පාර දිහා බලාගනම කියනවා.

අපි තව ඉස්සරහට යනවා,පාරේ දකුණු පැත්තේ ලොකු ගේට්ටුවක් දාපු තට්ටු දෙකේ ගෙයක් ඉස්සරහ කාර් එකක් වහපු ගේට්ටුවෙන්ඇතුලවෙන්න වගේ මුණ තියාගන තරහෙන් වගේ තුන්පාරකට හෝන් එක හයියෙන් ගහනවා. “අර මොකද ” කියල ඉකෙගම් සං ආයෙම අහනවා. “ඔය මහත්තයා මොනවා හැරී අමතක කරලා ගිහින් මගක් දුරක් ගිහින් අපහු හැරිලා ඇවිත් එයා දාලා ගියපු දේ ඉක්මනට ගෙන්න,මට පරක්කු වෙනවා කියල නෝනට හෝන් එකෙන් කියනවා”

ඉකෙගම් සං වීදුරුව පාත් කරලා එබිගෙන ඒ ගේ දිහා බලාගන ඉන්නවා.එතකොටම ගෑනු කෙනෙක් බෑග් එකක් අරගන ගේට්ටුවෙන් එලියට ඇවිත් ඒක කාර් එකට දෙනවා.කාර් එක හරවගන ආයෙම යනවා,ගෑනු කෙනා පාර අයිනේ ඉදන් අත වනනවා.කාර් එක අයිත් පාරක් හෝන් එක ගහලා ඉක්මනින් යනවා.

“ඒ මොකක්ද ඒ කිව්වේ” ඉකෙගම් සං ආයෙමත් අහනවා. “ඒ කිව්වේ තෑන්ක්ස් ගිහිල්ල එන්නම් බායි” කියලා.එයට හරි පුදුමයි.

“මටනම් හිතාගන්නවත් බෑ..ඔයාට හෝන් භාෂාව තේරෙනවද” කියලා ඉකෙගම් සං මගෙන් අහනවා.මං ලාවට හිනා වෙලා “චුට්ටක් විතර” කියලා එයා දිහා බලන ගමන් කිව්වා.
“ඉතින් මෙහෙම හෝන් එකෙන් කතා කරනකොට ඒක අනිත් මිනිස්සුන්ට කරදර නැද්ද.” එයා අහනවා. “නෑ ඉතින් මේක නිදහස් රටනේ..අවුලක් නෑ”

හයිලෙවල් පාර දිගේ ඇවිත් පන්නිපිටිය පහුකරලා යනකොට විශාල බස් එකක් පිටිපස්සෙන් ඇවිත් කාර් එක උඩ විසිවෙන්න හෝන් එක ගහනවා. ඉකෙගම් සං හොදටම බය වෙලා “ඒ මොකද එයා මොනවද කියන්නේ”කියලා මගෙන් අහනවා. “ඉක්මනට යනවකෝ,බැරිනම් මට යන්න ඉඩ දෙනවකො ” කියල ඔය කියන්නේ.මං පිටිපස්ස නොබලාම එයාට උත්තර දුන්නා. “ඉතින් ඉස්සරහින් තව වාහනයක් යනවනේ ඉඩ නෑනේ..” ඉකෙගම් සං පුදුමයෙන් වගේ අහනවා. “ඔව්..ඒ වුනාට බස් ඩ්‍රයිවර් එහෙම කියනවා”  එහෙම කියලා මත හෝන් එක ගැහුවා. “ඇයි ඉතින් ඔයා හෝන් එක ගහන්නේ” “මං බස් ඩ්‍රයිවර් ගේ පණිවිඩේ අර ඉස්සරහින් යන වෑන් එකට කිව්වා ” කියලා හිනා වුනා.

මහරගම ටවුන් එකට මෙහායින් සරසවි එක ගාව වම් පැත්තට අයින් කරන බස් එකක් සින්දුවක් කියනවා වගේ කාලයක් හිටින්න සද්දෙට හෝන් එක ගහනවා. “ඒ මොකද ඒ කියන්නේ” අයෙමත් ඉකෙගම් සං අහනවා. “ඔය කතා කරන්නේ බස් එක එනකල් හෝල්ට් එකට වෙලා වටපිට බල බල ඉන්න මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ අවධානය කැඩිලානේ තියෙන්නේ මෙන්න මං ආවා කියල ඔය කියන්නේ.අර බලන්න මිනිස්සු බස් එකට නගින්න දුවගන එන හැටි” එතකොටම ඒ බස් එකට පස්සෙන් ආපු තව බස් එකක් තරහෙන් වගේ හෝන් එක ගහනවා. 

කෙගම් සං ඒ ගැන අහන්න කලින්ම මං උත්තර දුන්නා. “ඔය කියන්නේ එන්න එන්න මේකට නගින්න මේකේ ෂිට් තියෙනවා කියලා” ඉකෙගම් සං හෝන් සද්දත් එක්ක මං ඒවා තේරුම කරලා කියලා දෙන ඒවත් දිගටම අහගන ඉන්නවා.

බස් ගැන කතා කර කර යද්දී පාරේ වම් පැත්තේ මෝටර් සයිකලක් එක දිගට හෝන් එක ගහගන ඉස්සර කරගන එනවා. “අර බයික් එක මොකක්ද කියන්නේ දන්නවද...වම් පැත්තෙන් ඉස්සර කරන්න බෑනේ..ඒත් එයා එහෙම කරනවා.මං දන්නේ නැතුව වමට අයින් කලොත් එයාව හැප්පෙනවනේ.ඉතින් ඒ හින්දා ඔන්න මං වමෙන් එනවා කියලා එක දිගට කියන හැටි ඔය” අපි හෝන් සද්ද අහගන තව ඉස්සරහට යනවා.

පාරේ වම්පැත්තෙන් කොලබ දිහාට යන බස් එකක් කොලබ ඉදන් පාරේ දකුණු පැත්තෙන් මෙහාට එන බස් එකකට අමුතු ආදරේ හිතෙන විදියට හෝන් එකක් ගහනවා.කොලබ ඉදන් එන බස් එකක් පහු කරනකොටම අර විදියටම ආදරේ හිතෙන විදියට චුට්ටක් හෝන් එක ගහනවා. ඉකෙගම් සං හිනා පිරිච්ච මුණකින් “ඒ මොකක්ද කිව්වේ” කියලා කුතුහලයෙන් අහනවා. “ඒ යාළුවො දෙන්නෙක් හායි කියලා කිව්වේ” ඉකෙගම් සං දෑස් පුංචි කරගන හයියෙන් හිනා වෙනවා.

පාර මැදින් කහ ඉරක් තියෙන තැනක වම් පැත්තේ පිරිච්ච ඇගක් ඇලිලා පේන විදියට එතිච්ච කහ පාට සාරීඑකක් ඇදපු ගෑණු ළමයෙක් හුළගට විසිවෙන කොන්ඩේ අතින් තද කරගන ඇස් පුංචි කරන් වාහනයක් නතරකරලා පාර මාරු වෙන්න ඉඩ දෙනකල් බලන් ඉන්නවා.එයාව පහු කරගන යන රතුපාට සපෝර්ට් කාර් එකක් වනචර විදියට හෝන් එක ගහගන යනවා. “ඒ මොකක්ද එයා කිව්වේ” කියලා ඉකෙගම් සං කුතුහලයෙන් අහනවා. “ඒ කිව්වේ ඔයා හරි ලස්සනයි බබා කියලා” මං උත්තර දෙනවා. ඉකෙගම් සං ආයෙමත් හයියෙන් හිනාවෙනවා.

තව ටිකක් දුර යද්දී පාර අයිනේ රවුම් බෝඩ් එකක නළාවක් ඇදලා ඒක රතුපාටින් කපලා හිටවලා තියෙනවා.එතන පොලිස් මාමා කෙනෙක් හිටගන පාර දිහාට බෙල්ල දික් කරගන ඉන්නවා. “ඔතන උසාවියක් ,ඔය තැන වල හෝන් ගහන්න බෑ.එහෙම හෝන් ගහන යන අල්ලන්න තමයි ඔය බලන් ඉන්නේ” කියලා මං පැහැදිලි කරා.

ඉකෙගම් සං ආප්ප කාලා නෑ කියලා කියපු හින්දා මං ආප්ප තියෙන කඩයක් බලලා එතනට කාර් එකේ මුණ හිටින්න නතර කරලා හෝන් එක ගහනවා. ඉකෙගම් සංට පුදුමයි “මං මේ වේටර් කෙනෙක්ට කතා කරනවා” කියලා මං කිව්වා.එතකොටම වේටර් කෙනෙක් දුවගන ඇවිත් ඇරලා තිබුන ජනේලෙන් කාර් එකට එබුනා.මං ආප්ප ගෙන්න කියලා එයාට කිව්වා.

“හරි පුදුමයි ,ඔයාගේ රටේ මිනිස්සු හෝන් එකෙන් කතා කරන හැටි දැක්කම ජපානේ නම් කෙනෙක් හෝන් එක ගහන්නේ පාරේ තව කෙනෙක් මාර්ග නීති කඩ කරනවා දැක්කොත් විතරයි.කව්රුවත් මාර්ග නීති කඩන්නේ නැති නිසා හෝන් එකක සද්දයක් ඇහෙන්නේ කලාතුරකින්.මටනම් හෝන් සද්දයක් ඇහුන කාලයක් මතක නෑ මගේ හිතේ.මගේ කාර් එකේ හෝන් එකක් තියෙනවද කියල මට මතකවත් නෑ.” කියලා ඉකෙගම් සං අප්පයි ලුණුමිරිසුයි කකා කියනවා.තේ බිලා ඉවර වුනාට පස්සේ මම ආයෙම හෝන් එක ගහනවා.එතකොට වේටර් බිල් එකත් අරගන දුවගන එනවා. “දැක්කද මං හෝන් එකෙන් කිව්වේ බිල ගෙන්න කියලා” මං හිනා වෙනවා ඉකෙගම් සංනුත් හිනා වෙනවා.

අපි හෝන් සද්ද අහ අහා කොලබ වටේ ඇවිදලා ඔෆිස් ඇරෙන්න කලින් හවස තුනට විතර ආපහු එන්න හැරුනා.එහෙම එනකොට පාරේ වම් පැත්තට වෙන්න වාහන පේලියක් එනවා ඩබල් ලයිට් දාගන එකා පස්සේ එකා හුගක් සන්සුන් විදියට.ඒවායේ ඇතුලේ සුදු ඇදගත්තු මිනිස්සු ඉන්නවා.ඒ වාහන පේලිය ඉස්සරහින්ම මිනි පෙට්ටියක් පටවපු වහලේ මල්වඩම් පුරවපු කළුපාට හර්ස් එකක් හෙමින් ඉස්සරහට ඇදෙනවා.අපි ඒ කාර් පේලිය පහුකරගන යද්දී ඉකෙගම් සං ඒ දිහා බලන් ඉන්නවා.

“ඔය මිනියක් ගෙනියනවා කනත්තට”

“ඇයි ඉතින් එයාල විතරක් හෝන් එකෙන් කතා කරන්නේ නැත්තේ..” ඉකෙගම් සං අහනවා.

“මැරිච්ච කෙනාට කතා කරන්න බෑනේ ඒක නිසා වෙන්නැති”

ඒ කතාව අහලා ඉකෙගම් සං හයියෙන් හිනා වෙනවා.මටත් හිනා ගියත් මැරිච්ච කෙනාට අපිත් එක්ක හිනා වෙන්න බැරි හින්දා මං හිනාව තද කරගත්තා.


මහාචාර්ය්‍ය ගංගානාත් දිසානායකයන්ගේ ලිපියක් ඇසුරෙන්