Monday, April 13, 2015

රස්තියාදුකාරයා නැවතත් වේදිකාවේ.....

මංතුමාට ජොබ් එකක් ලයින් වෙච්ච නිසා බ්ලොගේ පැත්ත පළාතේ එන්න බැරි වුනා..වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට පොස්ට් දෙනවා..හිටං....

Sunday, November 2, 2014

මල්ලියනේ …4

මගේ ගම මිනුවන්ගොඩ,අම්මා තාත්තා අක්ක ඉන්න පවුලක මම බාලයා.මිනුවන්ගොඩ තියෙන ප්‍රසිද්ධ පාසලක තමයි මම ඉගනගත්තේ.පුංචි කාලේ ඉදලම මට ඉගනගන්න ලොකු දක්ෂකමක්නම් තිබුනේ නෑ.නමුත් මම ඒ ලෙවල් හොදට පාස් වුනා.මම පන්තිය්නේ ඉදපු පිස්සු නටන කොල්ලෝ සෙට් එකේ කැපීපෙනෙන චරිතයක් වුනේ මං ගාව තිබුන හිතුවක්කාර ගති නිසා.කෙලින් තීරණ ගන්න ගතිය.යකාටවත් බය නැති ගතිය එදා ඉදලා මට තිබුනා හැමදාම මට හිතුනේ මම හරි කියලා,නමුත් මට ජීවිතේ හරියට වැරදුනා කියලා තේරෙනකොට පරක්කු වැඩියි.

මම මුලින්ම සිගරට් බොන්න පටන් ගත්තේ අට වසරේ ඉදලා.ඕ ලෙවල් කරන කාලේ වෙනකොට මත්පැන් වලට පුරුදු වෙලා ඉවරයි.අරක්කු බොන එක සිගරට් බොන එක කොල්ලෙක් විදියට කරන්නම ඕනේ දේවල් කියලා ඒ කාලේ මට හිතුනේ.සිගරට් එකක් කටේ ගහගන ඉන්නකොට මම වීරයෙක් කියලා මට හිතුනා.ඒත් එහෙම නෑ මොලයක් තියෙන කොල්ලෙක් සිගරට් බොන්නේ නෑ කියලා මම අද වෙද්දී දන්නවා.

ඕ ලෙවල් ඉවර වුනාට පස්සේ මම යාළුවො පිරිවරාගන ට්‍රිප් යන්න පටන් ගත්තා.සමහර ට්‍රිප් දවස් දෙක තුන ගතවෙන ඒවා.ට්‍රිප් යද්දී ෆන් ගන්න අපේ කොල්ලෝ ගංජා ගැහුවා,මාත් ගංජා බිව්වා.ජීවිතේ තිබුනේ සතුට සැනසිල්ල විතරයි.ගංජා ගහලා නින්දත් නොනින්දත් අතර ගානට මත්වෙලා කළුවරේ ඉන්න මම ආස කළා,ඒක අමුතුම ෆිලින් එකක්.මාස හය හතක්ම පාසල් යන අතරතුර මම හොදට ගංජා ගැහුවා.

ඕ ලෙවල් කලාට පස්සේ මට තිබුන එකම ආසාව වුනේ ජොබ් එකක් කරන එක.අන්තිමේ කොල්ලුපිටියේ ආයතනයක ජොබ් එකක් හොයාගන්න මට පුළුවන් වුනා.රස්සාව කරන්න පටන් ගත්තට පස්සේ අපිට ගම්පහ පැත්තේ පදිංචියට යන්න වුනා.ඒ කාලේ කෝච්චියෙන් උදේ හවා කොලබ එන්න යන්න මම පුරුදු වුනා.බස් එකේ එනකොට කොලබ ට්‍රැෆික් එකට අහුවෙන නිසා  කෝච්චියේ ගමන මට පහසුවක් වුනා.කෝච්චියේ යද්දී මට යාලුවෙක් සෙට් වුනා.එයාගේ නම සිතුම් රාජපක්ෂ.සිතුම් හිටියෙත් ගම්පහමයි.

සිතුම් හොද කොල්ලෙක් මාත් එක්ක හැම ගමනකටම සිතුම් එකතු වුනා.සිතුම් මගේ හොදම යාළුවා වුනේ මටත් නොදනිම.යාළුවා විදියට මට දැනුනා සිතුම් මොකක් හරි දේකට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා.මම ඒ ගැන දවසක් උගෙන් ඇහුවා.එතකොට මට එයා කිව්වා කුඩු ගහන බව.මනුස්සයෙක් විදියට සිතුම්ගේ හොදම යාළුවා විදියට එයා කුඩු ගහනවා කියලා කිව්වට පස්සේ එයාගෙන් අයින් වෙන්න යාළුකම නැති කරලා දාන්න මට පුළුවන්කමක් තිබුනේ නෑ.

මම ගංජා ගැහුවා සිතුම් කුඩු ගැහුවා.සමහරදාට සති අන්තයේ සිතුම් අපේ ගෙදර ඇවිත් නැවතිලා සදුදා උදේ මං එක්කම වැඩට ගියා.මගේ කාමරේට දොරක් තිබුනේ ගෙයින් පිටතට නිසා මං මොනවද කරන්නේ කියන එක ගෙදර අයට ප්‍රශ්නයක් වුනේ නෑ.

ඇත්තටම කියනවනම් කුඩුවල ආනිශංස ගැන මට ලොකු දැනීමක් තිබුනේ නෑ.අපේ ගෙදර ආව හැමදාකම සිතුම් කුඩු ගැහුවා මම බලන් හිටියා.ඒ හැම වෙලාවකම කුඩු ගහන්න මටත් ආස හිතුනා.එදා සිකුරාදා දවසක් පුරුදු විදියට සිතුම් අපේ ගෙදර ආවා.එදත් කුඩු පැකට් හතරක් විතර ගෙනාවා.මම සිතුමට කිව්වා මට කුඩු ගහන්න ආසයි කියලා.ඌ දුන්නේ නෑ.කුඩු ගහන්න එපා,මේක උබට හරියන්නේ නෑ කිව්වා,හතුරෙකුටවත් දෙන්න හොද දෙයක් නෙමෙයි කුඩු කියන්නේ කියල කිව්වා.ඒත් ඒ වචන වලට ඇහුම්කන් දෙන්න මට වුවමනාවක් උනේ නෑ.මගේ බලකිරීමෙන් බේරෙන්න බැරි තැන සිතුම් මට කුඩු පැකට් එකක් දුන්නා.මුල්ම දවසේ මට කිසිම ෆීලින් එකක් දැනුනේ නෑ.පලවෙනි ෂොට් එකෙන් පස්සේ මම කාලයක් කුඩු නොගහ හිටියා.ඒත් මගේ ආත්ම ශක්තිය කුඩුවෙන්න ගත්තේ බලන් ඉන්දදීම වගේ.


එතකොට මට සල්ලි වලින් අඩුවක් තිබුනේ නෑ.මම මුළු පඩියම යට කලේ කුඩු ගහන්න.මුලින්ම දවසට එකක් ගහපු කුඩු පහු කාලෙක දවසට තුන්හතර වතාවක් වුවමනා වුනා.සිතුම්ලාගේ අයියගේ ගේ තිබුනේ රාජගිරියේ.අපි සතිඅන්තේ එහෙ ගතකරන්න පුරුදු වුනා.මගේ කුඩු ගැහිල්ල ගෙදරට හොරෙන් කරගන යන්න මම හැම වෙලාවකම වැඩ කළා.ඒත් දවසින් දවස වැඩිවුණා කුඩු අවශ්‍යතාවය එක්ක අතේ සතේ නැතිවෙන්න ගත වුනේ ටික දවසයි.සතේ නැතුව ගෙවුන කාලේදී මට මුණගැහුනා යාලුවෙක්.එයාගේ නම චන්දන.චන්දන මට මුණගැහෙනකොට එයා හොදටම කුඩු වලට ඇබ්බැහි වෙලා හිටියේ.අපි දෙන්නා එකට කුඩු ගැහුවා.ඔය කාලේදී චන්දන මට කතා කළා කොල්ලෙක්කට සෙට් වෙන්න.

අපි කොල්ල කන්න ප්ලාන් කලේ ෂෙඩ් එකක්.අපි හිටපු පලාතෙන් පිට තියෙන ෂෙඩ් එකක් අපි තෝරාගත්තා.ඒ ෂෙඩ් එකට යන එන සෙනග අඩුවෙන වෙලාවක් ගැන අපි අවධානයෙන් හිටියා.උදේ,දවල්,රෑ වගේ හැම වෙලාවේම අපි ෂෙඩ් එකට ගිහින් සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙලාව හෙව්වා.ඉන්පස්සේ අපිට තේරුණා රෑ අට අටහමාර වෙනකොට ෂෙඩ් එකට එන වාහන අඩුවෙන බව.

හොද වෙලාවක් බලලා අපි වැඩේට බැස්සා.තෙල් ගහන්න හිටිය එකාගේ බෙල්ලට පිහිය තියලා මම කිව්වා අතේ තියෙන සල්ලි දීලා පැත්තකට වෙයන් නැත්නම් මැරුම්කන්න වෙන්නේ කියලා.චන්දන බයික් එකේ හිටියා.අපි ෆුල් ෆේස් හෙල්මට් දාලා හිටියේ.උන්ට අපිව අදුරගන්න බෑ.එදා දවසේ ආදායම උන් කුට්ටිය පිටින් අපට දුන්නා.ලක්ෂ එකහමාරක් විතර එතන තිබුනා.

එදා රෑ කුඩු පැකට් දහයක් විතර ගහලා කෝච්චියෙන් බදුලු ගියා.ෂෙඩ් එකේ මංකොල්ලයට පොලිසිය මුළු පළාතේම කුඩු ගහන කොල්ලෝ පස්සේ වැටෙන බව අපි දැනගන හිටියේ.බදුල්ල පැත්තේ කුඩු ගගහා අපි ඇවිද්දා.අරමුණක් තිබුනේ නෑ.දවස් හය යනකොට අතේ තිබුන සල්ලි සේරම ඉවරවුනා.අතේ සතේ නැතුව අපි ආයේ කොලබ ආවා.ඒ ඇවිල්ලත් කලේ කුඩු ගහන්න සල්ලි හොයන එක.

දවසක් චන්දනව පොලිසියෙන් අල්ලගන තිබුන ෂෙඩ් එකේ මන්කොල්ලෙට සැකපිට.ඉන්පස්සේ ඉතින් පොලිසියට මාව අල්ලගන්න අමාරු වුනේ නෑ.පොලිසියෙන් අපිට හොදටම ගැහුවා.ඉතිහාසගත නොකරපු හොරකමක් උනත් ඒ ගැහිල්ලට එලියට එනවා.
මගේ යාලුවටයි මටයි අන්තිමට මහර හිරගෙදර හිරබත් කන්න වුනා.මාස අටක් විතර හිරබත් කන්න වුනා.මම හිරේ යනකොට මගේ ගෙදර අය විශාල ඇදවැටීමකට ලක්වුනබව මම දැනගන හිටියා,ඒත් මට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නැහැ.

හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ මට ඕනේ වුනා හොද මිනිහෙක් වෙන්න.ඒ නිසාම මම තීරණේ කළා කුඩු නවත්තන්න.ලේසි වුනේ නෑ.මම කොහොමහරි කුඩු සික් එක කදාගත්තා.ඒ වෙනකොට මගේ රස්සාව නැතිවෙලා තිබුනේ.ඒ නිසා විදේශගත වෙලාහරි හොදින් ජීවත් වෙන ඕනේ කියලා මං හිතුවා.මගේ ගෙදරිනුත් ඒකට කැමති වුනා.මට රට යන්න වුවමනා හැමදේම ගෙදරින් ලෑස්ති කරලා දුන්නා.

ඔය අතරේ මට මිනුවන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකේදී ලස්සන ගෑනු ළමයෙක් මුණගැහුනා.ගෙවිලා ගියේ විනාඩි ගානයි එයා මට මුණගැහිලා එයා බස් එකෙන් බැස්සේ එයාගේ දුරකථන අංකයත් මට දීලා.මුලින්ම එයා මට හොද යාලුවෙක් වෙලා හිටියා.මගේ හැම ප්‍රශ්නයක්ම එයා එක්ක කතා කරන්න පුළුවන්කම තිබුනා,.අපි හැමදේම කතා කළා.නමුත් මොන හේතුවක් නිසාවත් මම කුඩු ගහන බවනම් එයාට කිව්වේ නැහැ.මට එයා හම්බුවෙනකොට එයා ඉස්කෝලේ යන කෙල්ලෙක්.මුලින්ම අපි අතරේ තිබුන හිතවත්කම පස්සේ කාලෙකදී ආදරයක් බවට පෙරලුනා.ඒ ආදර සම්බන්දෙ ඇතිවුන මුල්ම කාලේ මට දෝහා කටාර් වලට යන්න ලැබුනා.දෝහා වල මට කරන්න තිබුනේ ඉලෙක්ටි‍්‍රකල් පැත්තේ ජොබ් එකක්.

මං නැවතිලා හිටියේ හතරදෙනෙක් ඉන්න කාමරේක.දෝහා වල අරක්කු බොන්නත් ලයිෂන් තියෙන්න ඕනේ.ඒ වගේම අරක්කු හරිම ගණන්.ඒ නිසා බංගලාදේශ් කොල්ලෝ සෙට් එකක් පෙරන කසිප්පු අරගන අපි බොන්න පුරුදු වුනා.ඉන්දියන්,නේපාල්,ශ්‍රීලංකා,පිලිපින් වගේ හැමරටකම කොල්ලෝ අපේ නේවාසිකාගාරයේ නැවතිලා හිටියා.එක කාමරේ හතරදෙනා ගානේ හිටියා.

හැමදාම බංගලාදේශ කොල්ලන්ගෙන් කසිප්පු බිබී ඉදපු මම අපේ කාමරේම කසිප්පු පෙරාගන්න පුරුදු වුනා.ඒ වෙනුවට මං හිටපු කාමරේ ගෑස් ලිපඋඩපොඩි බැරල් එකක් තියලා සීනි කිලෝ පහක්,කටුකම්බි,බෙලෙක් කෑලි,ඊස්ට් ඇසිඩ් වර්ග පලතුරු දාලා මම කසිප්පු පෙරන්න පටන් ගත්තා.කාමරේ හිටපු අනිත් කොල්ලොත් කසිප්පු වලට කැමති නිසා මම කරන වැඩේට කව්රුවත් අකමැති වුනේ නෑ.මම හැම සතියෙම කසිප්පු පෙරුවා.සතියට ලීටර විසිපහ ගානේ පෙරුවා.ඒ වගේම එක බෝතලයක් කටාර් රියාල් තිස්පහ ගානේ විකිණුවා.
මම හිටියේ දෝහා වල සනෙයියා නගරේ.මගේ කසිප්පු වලට විවිද රටවල කොල්ලන්ගෙන් ඉල්ලුම වැඩි වුනා,සමහරදාට පලතුරු දාලා තවත් දවසක පරිප්පු දාලා මම කසිප්පු පෙරුවා.කසිප්පු පෙරන්න මම වැඩිපුරම දැම්මේ හිස් සැමන් ටින්.

ඔය විදියට කසිප්පු ජයටම පෙරන කාලේ මට හම්බුනා ගංජා විකුණන ලංකාවේ කොල්ලෙක්.ඌ ගංජා ගෙනාවේ කිලෝ ගානින්.එදා ඉදන් මටත් හිතුන ගංජා විකුනන්න.මුලින්ම ගංජා ග්‍රාම 200 ක් ගත්තා.අරගන ග්රෑම් පනහේ බන්ඩල් හතරක් ගහලා විකිණුවා.බදු ඉක්මනට ගිය නිසා ගංජා කිලෝ ගානින් අරගන විකුනන්න මට හිතුනා.ලංකාවේ අපේ කොල්ලෙක්ගෙන් ගත්ත ගංජා මම පිටරට කොල්ලන්ට විකිණුවා.දවසින් දවස මට සල්ලි උතුරන්න ගත්තා.

මේ හැමදේම කලේ ඒ රටේ පොලිසියේ ඇස් වහලා.මාත් එක්ක ගංජා බිස්නස් එක කරන්න සමන් කියලා යාලුවෙකුත් සෙට් වෙලා හිටියා.දවසක් සමන්ට ගංජා ඕඩරයක් ආවා.හැන්දෑවේ ගංජා පාර්සලෙත් අරගන සමන් එලියට බහිනකොට මම කිව්වා.මචන් මේ වෙලාවේ යන්න එපා පොලිසියට මාට්ටු වෙයි කියලා.එතකොට සමන් කිව්වා,ගෙදර හිටියොත් නිකම්මයි මේක දුන්නොත් කීයක් හරි අතට එනවනේ ඒ නිසා මම මේක ඉක්මනට දීලා එන්නම් කියලා.
ගංජා ඕඩර් එක දෙන්න ගිය සමන් හවස් වෙනකල් ගෙදර ආවේ නැහැ.හැන්දෑවේ අපි සමන් ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනා කටාර් වල අලටියා කියන ප්‍රදේශයේදී සමන්ව කටාර් පොලිසියෙන් අල්ලගන කියලා.සමන් ගංජා අරන් යන බව එදා ඔත්තුව දීලා තිබුනේ ලංකාවේම කෙනෙක්.

අත්අඩංගුවට ගත්ත සමන්ව ඒ රටේ උසාවි දාලා බරපතල වැඩ ඇතිව අවුරුදු පහළොවකට හිරේට නියම කළා.එදා හිරේ යන දවසේ සමන් සෑහෙන්න ඇඩුවා.මගින් මගටම අපට කතා කරලා කිව්වා ගෙදර අයට උදව් කරන්න කියලා.අදත් සමන් ඒ රටේ හිරබත් කනවා.එයාගේ ගෙදර අය මේ රටේ නොවිදිනා දුක විදිනවා.දෝහා වල ඉන්නතාක් අපි සල්ලි එකතු කරලා සමන්ගේ ගෙදරට ඇරියා.නමුත් මම ඒ රටෙන් ආවට පස්සේ ඒ හැමදේම නැවතුනා.දැන් ඒ රටේ සමන්ට මැරෙන්නත් ජීවත්වෙන්නත් ඉන්නේ සමන්ම විතරයි.

සමන් හිරේ ගියාට පස්සේ මටත් එහෙ ඉන්න හිතුනේ නැහැ.පොලිසියේ ඉව මගේ පැත්තත් හැරිලා කියලා මට තේරුනා.මම වැඩ කරන තැනට සනීප නෑ ලංකාවට යන්න ඕනේ කියලා ලංකාවට ආවා.

කොහොම උනත් මම ලංකාවට ආවේ අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගන.ලංකාවට ආව මුල්ම දවසේ මම ගියේ මගේ කෙල්ලව බලන්න.ඒ වෙනකොට එයා කොලබ විශ්ව විද්‍යාලයට ඇතුල්වෙලා තිබුනා.එයාගේ උගත්කම ගැන මට ආඩම්බරයක් තිබුනේ.මම එයාව මගේ ගෙදරට පවා අදුන්නලා දුන්නා.මම එයාට ආදරේ කළා වගේම එයත් මට ආදරේ කළා.ලංකාවට ආවට පස්සේ මට මගේ කෙල්ල සුජානි එක්ක ජීවත් වෙනවා ඇරෙන්න වෙන සතුටක් තිබුනේ නෑ.

දවසක් එයයි මමයි නිදහසේ ඉන්න හිතාගන හෝටල් කාමරේකට ගියා.එදා අපි දෙන්න අතරේ ඇතිවුන බැදීම කොයිතරම්ද කිව්වොත් සුජානි මං අතින් ගැහැනියක් වුනා.ඒ ගැන එයාට දුකක් තිබුනේ නෑ.එය හිටියේ සතුටින්.ඒ කාලේ ජීවිතේ ගෙවිලා ගියේ අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන්ම විතරයි.

ඒත් කාලයක් යනකොට මට නරුම යාලුවන්ගේ ආශ්‍රය ලැබුනා.ආයෙත් මම කුඩු වලට වැටුනා.රට ඉදලා එනකොට පිරිලා මත්වෙලා තිබුන මුහුණ කෙට්ටුවෙලා හකු බහින්න වැඩි කාලයක් ගියේ නැහැ.කන්න බොන්න බෑ හරියට වැඩක් කරගන්න බෑ,කොටින්ම කිව්වොත් මම ඇවිදින මළමිනියක් බවට පත්වුණා.

දවසින් දවස මගේ පෙනුම වෙනස් වෙනකොට මගේ අම්මා,සුජානි මාව සැක කළා.සුජානි මගෙන් ඇහුවා මොනවහරි මත්ද්‍රව්‍යක් ගන්නවද කියලා.මුලදී මුලදී මම එයාට නෑ කිව්වා මිසක් ඔව් කිව්වේ නෑ,ඒත් එයා දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කළා.මම එයාට ඇත්තම කිව්වා.මම හිතුවා ආදරේ වෙනුවෙන් එයා මම කුඩු ගහන එක ඉවසයි කියලා.මේ ප්‍රශ්න වලින් මාව මුදවගනී කියලා.මම හැමදේම එයාට කිව්වා,නමුත් මම කුඩු ගහන බව එයාට කිව්වම එයා වෙනස් වුන තරම තාම මට හිතාගන්න බෑ.ආදරේ කල කෙල්ලෙක් විදියට ඒ තරම් තද තීරණයක්‌ එයාට ගන්න පුළුවන් වුනේ කොහොමද මම දන්නේ නෑ.එයා මට කිව්වා කුඩුකාරයෙක්  බදින්න මම කැමති නෑ ඒ නිසා එයාව මුණගැහෙන්න එන්න එපා කියලා.

අපි හැමදාම හමුවුන තැන මාව තනිකරලා දාලා එයා යන්න ගියා,මම එයාට කෝල් කළා එයාගෙන් අයින් වෙන්න බෑ කියලා ඒත් ඒ කිසිම දෙකින් එයාව නවත්තන්න පුළුවන් වුනේ නෑ.

මාව කුඩු ගහන එකෙන් නතර කරන්න මගේ අම්මා මාව රටේම තියෙන රෝහල්වලට අරගන ගියා.සෙත් ශාන්ති කළා.ඒත් මම කුඩු ගැහුවා.අන්තිමට දවසක් පාන්දර පහට විතර මගේ තාත්තා මගේ කාමරේ දොරට ගහලා කිව්වා පොලිසියෙන් ඇවිත් කටඋත්තරයක් ගන්න කියලා.ඒ වෙනකොටත් මට පොඩි පොඩි කේස් තිබුන නිසා මම පොලිසියට යන්න එලියට ආවා.

නමුත් හතර පස් දෙනෙක් වටකරගන මාව අන්තිමට අරගන ගියේ පොලිසියට නෙමෙයි කුරුවිට මිතුරු මිතුරෝ ආයතනයට.දැන් මට මේ ජීවිතේ හදාගන්න ඕනේ.මට පොඩ්ඩක්වත් ආදරය නොකළ සුජානිට මගේ හදාගත්ත ජීවිතේ තියෙන පිළිවෙල පෙන්නන්න ඕනේ.මගේ අම්මගේ තාත්තගේ ආදරේ මට ආශිර්වාදයක් වුන බව හැම කෙනාටම කියන්න ඕනේ.මගේ හිත දුර්වල නොවී කොයිතරම් දුරක් යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
වැස්සට ආසකරන සමහරු වැස්සේ තෙමෙන්න බයයි වගේ ජීවිතේට ආස කරන සමහරු ජීවිතේට මුහුණදෙන්න කැමති නෑ.කැමැත්ත අකමැත්ත මැද පෙලගැහෙන ජීවිතේදී වැස්සට තෙමුනොත් ස්වභාවධර්මයාට ආදරේ කරන්න පුළුවන් ජීවිතයට මුහුණ දුන්නොත් ලෝකයම දිනන්න පුළුවන්.

Wednesday, October 15, 2014

කාලකණ්නියා


“පටාස් ...”

පළමු කනේ පහර,නරබන්නෝ හරිම සතුටින්.අතුරු පාරේ කලබලයක්,මමත් ඒ කලබලයට අහුවෙලා.පහර කන්නේ කාලකණ්නියා..පහර දෙන අයගේ නමක් ගමක් නෑ.

“ඇයි මේ..මොකක්ද කේස් එක..”

මම අහල පහල ඉදපු කෙනෙක්ගෙන් අහනවා.

“දන්නෑ”

ඔහු මේ අපුරු සිදුවීම ඇස් දෙකෙන් රස විදිනවා විතරයි.මුලක් මැදක් අගක් දන්නේ නෑ.දෙතුන් දෙනෙක්ගෙන් අහගන්කොට යන්තම් කාතාවක දැනගන්න ලැබෙනවා.
“ඕකා හොරෙක්නේ...”

කාලකණ්නියා හොරා බවට පත්වෙනවා.පහරදීම නැගලම යනවා..වටේ ඉන්න අය චියර් කරනවා.

“ගහලා මදි...මරන්නයි ඕනේ..”

ටික වෙලාවකින් කාලකන්නියට අභයදානය ලැබෙනවා.ඔහු සෙනග අතරින් නොපෙනී යනවා.කාලකන්නියට ගහපු අය ලොකු ටෝක් දිදී පොර වෙනවා.

“කව්ද ඒ කාලකණ්නියා ...?”

ඔහුට වෙනම නමක් තියෙනවා.ඔහුගේ වයස අවුරුදු දහ අටක් විතර ඇති.සමහරවිට වයස දාසයක්‌ විතර වෙන්නත් පුළුවන්.ඔහුගේ ඇග පත අව්වට පිච්චිලා,මුහුණේ දුවිලි තට්ටු ගණන්,තොල්දෙක බයිසිලක් බ්රේක් පලු දෙකක් වගේ,දත්වල තියෙන කහපාට,ඒවා අතරින් නිශ්චිතවම කියන්න පුළුවන් නිකොටින් නිසා ඇතිවුන ඒවා කියලා.ඒත් ඒ සියල්ල අතරින් ඔහුගෙන් මතුව එන්නේ නොමේරු පෙනුමක්.

අවසානයේ මට ඔහුව හමුවුනා.මේ ඔහුගේ කතාව.

“මම අවුරුදු දහයක් දොළහක් විතර හිගා කන්න ගියා..අන්තිමට මම පැනලා ආවා..”
“හිගාකන්න ගියා”

“ඔව්..මාව පුංචි කාලේ ඉදලම එක එක්කෙනා එක්ක යවනවා,,ගෑනු,මිනිස්සු...”
“ඒ අය කොහෙද දන්නෙත් නෑ..මට හුගක්ම පොඩි කාලේ ගැන මතකයක් නෑ...ඒත් මට මතක කාලේ මාව අරගන යනවා.කොනිත්තනවා නිතරම වගේ”

“අඩපන්...මම හොදටම අඩනවා,අයෙමත් මොකක් හරි දැක්කම ඇඩිල්ල අමතක වෙනවා..උදේ නමයට විතර පටන් ගත්තම මහා රෑ වෙනකල් අඩන්න වෙනවා.මට මතක විදියටනම් දවල්ට කන්න දෙන්නේ නෑ..ඒවා කියන්නේ මුදලාලි..”

“යකෝ..පොඩි එකාට කවලා පොවලා සැපට තිබ්බම තොපි කොච්චර ඇන්නත් වැඩක් නෑ..ඌව අඩවන්න ඕනේ නම් බඩගින්නේ තියපල්ලා ..ඉතිං දවල්ට කන්න දෙන්නෙම නෑ..” රෑට දෙන්නේ කොත්තු රොටී.මම මාරම ආසයි.හැබැයි රෑට කන්න දෙනවා චිකන් කොත්තුවක්ම.

“බඩ පිරෙන්න කාපිය” කියලා.

පහුවදාට උදේම ආයෙම පටන්ගන්නවා.මම පාරේ යනකොට සමහර මිනිස්සු පොඩි පොඩි තෑගී දෙනවා.එතකොට පින් දෙන්න ඕනේ.
“අනේ මහත්තයෝ..පින් සිද්ධ වෙනවා”


කියලා ඒත් ඒවා අලුත් ඒවානම් විකුනනවා.සෙල්ලම් බඩු පවා හම්බුවෙනවා.අලුත් ඇදුම් හම්බුවෙනවා.සමහර ඒවා දෙන්න බෑ කියලා බදාගන අඩලා තියෙනවා.ඒත් කරන්න දෙයක් නෑ.මාව අරගන යන ගෑනු කෙනා හරි පිරිමි කෙනා හරි කනට දෙකක් ගහලා ඒවා අරගන්නවා.ඒ කාලේ කවුද නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි  බත් එකකුයි ලස්සන ප්ලේන් එකකුයි දුන්නා.මට ඒක තාම මතකයි.මම එක පාරක පත්තු කරලා බැලුවා එච්චරයි.කොච්චර අලුත් ඇදුම් හම්බුනත් වැඩක් නෑ..ලෑස්ති වෙයන් කිව්වම ඒවා ගලවලා දාලා පරණ කොට කලිසමක් ඇදගන,උඩට ඇදුමක් නෑ.ඔහේ යනවා දවසෙම යනවා,අව්වට පිච්චෙනවා,වැස්සට තෙමෙනවා.

නාන්න ඇග හෝදන්න දෙන්නෙම නෑ.,මට ඒවා පුරුදුත් න,රෑට කකුල් රිදෙනවා,පුංචි කාලෙම පයින් ඇවිදින්න වෙලා තිබුනනේ.ඔය කොටුව පුරාම ඇවිදිනවා,බස් එකෙන් බස් එකට යනවා කෝච්චියෙන් කෝච්චියට යනවා.මම වගේම පොඩි උන්ව අම්මලා වඩාගන තුරුල් කරගන යනවා දැක්කම මට ඉරිසියා හිතෙනවා.එහෙම දවස් වලට මම අම්මව අහන්න පටන් ගන්නවා.ඒත් එකෙක්වත් කියන්නේ නෑ.

“තොට කොහෙද අම්මලා තාත්තලා කට පියාගනින්..” කියනවා.

“මම හිටපු තැන තව එවුන් රෑට නිදාගන්නවා ,ඒත් ඒ කව්රුවත් හිගන්නෝ නෙමේ බිස්නස්කාරයෝ.එතන හිටපු මුදලාලි වගේ කෙනෙක්.මිනිහත් එක්ක සියට ගානක් කතා කරගන්න.ඒ කියන්නේ සීයක් හම්බුනාම විස්සක් තිහක් දෙන්න ඕනේ,හැබැයි නොදුන්නොත් ඉවරයි ,හොදටම ගහනවා,”

අවුරුදු කාල වලට මට කන්න නෑ.සමහර වෙලාවට කව්රුවත් නෑ,පාරට ආවත් මොනවත් නෑ,ඉල්ලගන්නවත් තැනක්‌ නෑනේ අවුරුදු වලට.දවසක් මුදලාලි මට අරක්කු පෙව්වා.මට වමනේ ගියා,ඒත් ඊට පස්සේ මම බොන්න ගත්තා,බොනවා කියන්නේ සල්ලි වලට අරගන බොන්නේ නෑ,එහෙම බොන්න දන්නෙත් නෑ.ඒත් මුදලාලි බොන්න පටන් ගන්නේ හවසට.එතකොට ලගට වෙලා ඉන්නවා.මට උගුරක්‌ දෙකක් දෙනවා.ඒක තමයි බොන්නේ.පස්සේ පස්සේ මුදලාලි බීලා නිදාගත්තම මුදලාලිගේ ෂර්ට් එකේ සාක්කුවෙන් සල්ලි ගන්නවා.අරගන තාප්පෙන් පැනලා කඩේට යනවා මොනවා හරි කනවා,කොත්තු හැර වෙන ඕනේ දෙයක් කනවා.එහෙම යනකොට දවසක් මාව අහුඋනා.වෙන කව්ද එකෙක් දැකලා මාව අල්ලගත්තා.මුදලාලිට කතා කරලා පෙන්නුවා.

මුදලාලිගේ සාක්කුවේ තිබිලා රුපියල් තුන්හාරදාහක් කොහොම හරි මට මතක නෑ.මම එච්චර ගත්තේ නෑ.එච්චර ගානකින් කරන්න දෙයක් මම දන්නෙත් නෑ.මම ගන්නේ රුපියල් සීයක් නැත්නම් දෙසීයක් විතරයි.දැන් මට තේරෙනවා ඒ සල්ලි අරගන තියෙන්නේ මාව අල්ලගත්ත එකා.ඒත් මුදලාලිට එහෙම හිතුනේ නෑ.මුදලාලි මට කතා කළා.

“තෝ..සල්ලි ගත්තේ මොකටද”
මම කිව්වා මම ගත්තේ නෑ කියලා.

“නෑ..උබ ගත්තට කමක් නෑ ගත්තේ මොකටද කියපං”
මම ගත්තෙම නෑ කිව්වා.ඒ පාර මට ගැහුවා,මගේ දතක් කැඩුනා.ලේ ආවා.මාව වැටෙනකල්ම ගැහුවා.

“තෝ දන්නේ නෑ..මට ඕනෙනං තෝව මම මරනවා...තෝ මරලා උයලා කන්නත් මට පුළුවන්..” එහෙම කිව්වම මට බය හිතුනා හොදටම මට චූත් ගියා.

“පල යන්ඩ..මෙතන හුජ්ජ කරන්නේ නැතුව...” කියලා එලෙව්වා.

ඊට පස්සේ මට නිදාගන්න තිබුන කාඩ්බෝඩ් කෑල්ල ගෙනත් චූ ගිය තැනට දැම්මා.මම ඒ කාඩ්බෝර්ඩ් කෑල්ල ඇදක්‌ වගේ ලස්සනට හදලා තිබුනා.අගුරු කෑල්ලකින් චිත්‍ර ඇදලා තිබුනා.පාරේ තිබුන මලක් ඇහිදගන ඇවිල්ලා ඒකෙ ගහලා තිබුනා.මට මේ ලෝකේ තිබුන ලස්සනම තැන තමයි ඒ.ඒක චූ කරපු තැනට දැම්මම මට කරන්න දෙයක් නෑ.මම ඒක ආයෙම අරගන නිදාගන්න තැනට ආවම අනිත් අය මාව එලෙව්වා.

“තෝ ගාව හුජ්ජ ගදයි...”

කියලා මම ඇඩුවා.ඊට පස්සේ මගේ කාඩ් බෝඩ් කෑල්ල මලත් එක්කම පිච්චුවා.ඊට පස්සේ මට නිදාගන්න තැනක් නැතිව ගියා.මුදලාලි මට ගහන්න ගත්තා.හැමදාම කරදර කරන්න ගත්තා.පුංචි කාලේ ඉදන් මම දහ පහළොස් දෙනෙක්ට මගේ අම්මා තාත්තා කිය කියා ඒ අය එක්ක යන එක මට එපා වුනා.

මම මුදලාලිගේ සාක්කුවේ තිබුන සල්ලි ඔක්කොම අරගන තාප්පෙන් පැන්නා.පැනලා ආවා.ඊට පස්සේ හැංගෙන්න වුනා.අවුරුදු ගානක් හැංගි හැංගි හිටියා.හොරකම් කළා.පාරේ නිදාගත්තා.මම ටික ටික ලොකු වුනා.පික්පොකට් ගහන්න ගත්තා.ඒ සල්ලි වලින් කුඩු ගැහුවා.දැන් මම එක එක ජාති විකුනනවා.

“එතකොට කෝ මුදලාලි...”

ඌ නන්නත්තාර වෙලා.මම දන්නේ නෑ මොනවා කරනවද කියලා.ඒත් ඌ ඔය කියන ජාතියේ සල්ලි කාරයෙක් නෙමෙයි.කියලා ඔහු මගෙන් සමුගත්තා.


Monday, October 6, 2014

රස්තියාදුකාරයන්ගේ ධර්මය






රස්තා දහම ගැන ටිකක් හරි දන්නා අයට එක පාරටම මල පනියි මගේ මාතෘකාව දැකලා.නමුත් ඇත්ත එකයි..ගොඩක් කස්ටිය හිතන්නේ අන්න එහෙම...වත්මන් සමාජයේ රස්තාෆාරියන් වරුන්ගේ ධර්මය ගැන නිසි අවබෝධයකින් තොරවීම එය හුදු ගංජාකාරයන්ගේ රස්තියාදුකාර දහමක් ලෙස වත්මන් තරුණයන් හදුනාගන තිබීම මාද පුද්ගලිකව හෙලා දකිමි.මක් නිසාද කිසිම දෙයක් ගැන නිසි ආකාරව නොදැන විනිශ්චය කිරීම ඉතාමත් බරපතල වැරැද්දක බැවිනි.

ප්‍රථමයෙන් මා සෙවූයේ එහි ආරම්භය හා ආරම්භ වීමට හේතුන්ය....
එහිදී මා සොයා ගත්තේ ඉතියෝපියාව කියන වචනයයි.......
නමුත් ඒ වත්මන් කාන්තාරගත ඉතියෝපියාව නොව....
ඉතියෝපියාව යන වචනයට මිට අවුරුදු පනහකට හැටකට පෙර තිබුනේ වර්තමාන තේරුම නොවේ.ඉන් අදහස් කෙරුනේ ප්‍රෞඩ අභිමානවත් රටකි.සැබවින්ම ඉතියෝපියාව එකල එසේ විය.ඒ අනුව එකල ජැමෙයිකාව ඇතුළු බොහෝ රටවල පැතිර ගිය රස්තාෆාරියන් නම් දර්ශනය අනුව කළු ජාතිකයන්ගේ පොරොන්දු දේශය වශයෙන් සැලකුනේ ඉතියෝපියාවයි. එනම් වහලුන් ලෙස ඇමරිකාව ආදී රටවලට ගෙන ගිය කළු ජනතාව යලි එක්සත් වී ඉතියෝපියාවට පැමිණ යලිත් ස්වකිය සංස්කෘතියට ශිෂ්ටාචාරයට අනුව නිදහස් දිවියක් ආරම්භ කල යුතු බව මෙම දහමින් ප්‍රධාන වශයෙන් කියවිණි.

සුද්දන් අප්‍රිකාවට පැමිණියේ අතකින් තුවක්කුවත් අනිත් අතින් බයිබලයත් රැගෙන බවට කතාවක් ඇත.එම අධිරාජ්‍යවාදී සමයේ කළු අප්‍රිකානුවන් ක්‍රිස්තියානි ආගමට හැරුණද එමගින් ස්වකිය ජීවිතයට විමුක්තිය ලබාදෙනු වෙනුවට එමගින් කරනු ලබන්නේ තමන්ගේ වහල් බැමි තව දුරටත් හිර කිරීම බව කල්යාමේදී ඔවුහු තේරුම ගත්හ.කැෂියස් ක්ලේ මොහොමඩ් අලි වීමට සිතුවේ ඒ නිසාය.එනම් මෙම සුදු ක්‍රිස්තියානිය ද තමන් මර්දනය කරන ක්‍රමයේ කොටසක් බව වැටහීම් නිසා බොහෝ කළු ඇමරිකානුවෝ ඉන් ගැලවීමට මුස්ලින් ආගමට ගියහ.

එහෙත් රස්තා දහම එයට වඩා නිර්මාණශීලි විය.එය එක් අතකට රුසියානුවන් බටහිර යුරෝපිය අධිපත්‍යට යට නොවී ක්‍රිස්තියානිය රුසියානුවන්ගේ කරගැනීමට සමානව අප්‍රිකානුවන් උදෙසා ක්‍රිස්තියානි ධර්මයක් නිර්මාණය කරගැනීමට දරු උත්සහයක් ලෙසද සැලකිය හැක.සුද්දන්ට පමණක් නොව කල්ලන්ටත් ප්‍රේම කරන දෙවියන් වහන්සේ කෙනෙකු නිර්මාණය කරගැනීම යයිද කිව හැක.රස්තා දහමට අනුව ඉතියෝපියාව පොරොන්දු දේශය වුවා පමණක් නොව එහි අධිරාජ්‍යයා වූ හේල් සෙලාසි ගැලවුම්කාරයානන් වහන්සේ වශයෙන්ද සැලකින.තත්වය බැරෑරුම් බව සුද්දන්ට ඒත්තු ගියහ.කරන්නට අන් දෙයක් නොමැති තැන.අධිරාජ්‍යවාදී බලවේග විසින් ඉතියෝපියාව ඉතියෝපියාවක්‌ බවට පත් කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කෙරිණි.ඒ හරිත විප්ලවයේ නාමයෙනි.අද ඉතියෝපියාව පැරණි සාරවත් ඉතියෝපියාව නොව කාන්තාරයකි.


කළු අප්‍රිකානුවන් ආර්ථික හා සංස්කෘතික වශයෙන් වහල් භාවයෙන් මුදාගැනීම අරමුණු කරගත් රස්තා දහමට 1967 දී හෙවත් 1970 දශකයේ දී ලැබුණු ලොකුම හයිය බොබ් මාලේ ය.අනෙක් අතට බොබ් මාලේගේ හයිය වුයේද රස්තා දහමය.

බොබ් මාලේගේ ස්වකිය අධ්‍යාත්මය චින්තනය සකස් කරගත්තේ රස්තා ධර්මය ඇසුරෙනි.ක්‍රිස්තියනියෙන් බිදී ගිය ආගමක් ලෙස මෙය හැදින්වුවද එය ආගමකට වඩා සමීප වන්නේ ජීවන රටාවකටය.එයද වනාහි එක්තරා විදියක න්‍යායක් ලෙස මම දකිමි.සුදු ශිෂ්ටාචාරයේ ව්‍යාජත්වය පෙන්විය හැකි එක් ක්‍රමයක් වන්නේ ඔවුන් බොරුවට අදහන ක්‍රිස්තියානිය වෙනුවට සැබෑ ක්‍රිස්තු භක්තිකයෙකු බවට පත්වීමයි.සැබවින්ම ක්‍රිස්තියානි සැබෑ සාරධර්ම ගත්විට අප්‍රිකානු රස්තාෆාරියන් වරුන් සුදු ජාතිකයන්ට වඩා දෙවියන් වහන්සේට සමීප වෙති.රස්තා ධර්මය පදනම වුයේ ඒ ධර්මය මතයි.මාක්ස් ගාවේ විසින් පතුරවා හරින ලද රස්තා ෆාරියන් ආගම අනුව ඉතියෝපියාව රස්තා වරුන්ගේ පොරොන්දු දේශය වශයෙන් සලකින.දෙවියන් වහන්සේගේ නාමයේ සුද්දන් කරන කුරිරු කම් මැඩලීමට ගත හැකි එක් ක්‍රමයක් වන්නේ සුද්දන්ට වඩා දෙවියන් වහන්සේ වෙත සමීප වීමම නොවේද...?මේ අනුව රස්තාෆාරියන් ව්‍යාපාරය සුදු පදනම දෙදරවන හා කළු අප්‍රිකානුවන් එක්ව බැද තබන ඇදහීමක් බවට පත්විය.

පසුව මා සොයන්නට ගත්තේ මෙහි ඇති වත් පිළිවෙත හා නීති පිළිබදවය.....

ප්‍රධාන වශයෙන් රස්තා දහම බයිබලය මත පදනම වේ.ඔවුන්ගේද පුජනිය ග්‍රන්ථය බයිබලයම විය.බයිබලයෙන් ඔවුන්ට මග පෙන්විය.ඊට අමතරව ඉතා සුළු වෙනස්කම් කීපයක් රස්තාවරුනගේ දැකිය හැකිය.රස්තලාගේ ජීවිතයේ ගංජා ඉරීම අනිවාර්යය අංගයකි.එමගින් දෙවියන් හා සමීප විය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

දෙවියන් පවා සිදුකරන එම දුම් ඉරීම දෙවියන්ගෙන් ලැබුණු වරමක් ලෙස ඔවුහු හදුන්වති.වත්මන් සමාජයේ ඇති ප්‍රකට කියමනක් වන Beer made Man,Weed made God කියමනද ඇතිවන්නට ඇත්තේ මෙම දහම පදනම කරගන වෙන්නට ඇත.

නිර්මාංශ ආහාරයේ නියැලෙන රස්තෆාරියන් වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලුදු කරගැනීමට කිසිදු විටෙක සුදානම් නොවිය.එහෙයින් ශල්‍යකර්ම හා කිසිම හේතුවක් මත ශරීරාංග කැපීම අනුමත නොකල්ය.කොණ්ඩා කැපුවේද නැත.ඇත්තෙන්ම කිවහොත් එම කැරලි ගැසුණු කොණ්ඩය මගින් ඔවුන් ඉහල පිළිගැනීමකට ලක් විය.

තවද රස්තලාගේ ප්‍රබල කියමනක් වන්නේ මෙහි හතුරෙක් නොමැත යන්නයි.එනම් ඔවුන් වෛර කිරීමට නොදැනීමයි.මෙයද මා පුද්ගලිකව ඉතාමත් ගරු කරන රස්තා න්‍යායකි.නියම රස්තා කෙනෙකු කිසිවෙකුට කිසිම හේතුවක් මත වෛර නොබදී.රස්තෆාරියන් කෙනෙකු වන බොබ් මාලේ නිසා ඒ ජීවන රටාව ලොව පුරා බොහෝ සෙයින් පැතිර ඇත.එනම් ආදරයට ආදර කරන්න නොව එය නියමාකාරයෙන් මෙසේ විය යුතුය.එනම් වෛරයට ආදරය කරන්න යනුයි.

ONE LOVE ONE HEART”…“එකම හදවතින් එකම ආදරයක්